Saturday, July 30, 2011

ඝණ අන්ධකාරය

මිදී එන්නට සිතයි ඔබ වෙත....
එහෙත් කෙලෙස ද?

හිමිකම

අවසානය කොතැන ද?
නොදනිමි.
ඇරමුම කොතැන ද?
  නොදනිමි.
සියල්ල සිදුවී හමාර ද?
නොදනිමි.
දන්නේ කුමක් ද?
දනිමි.
කුමක්ද?
ආදරය.
කා හට ද?
නොදුටු ඈ හට.
නොදුටුවේ මන් ද?
හිමි නොවන නිසා.
පෙම් කළේ මන් ද?
හිමි වේ යැයි සිතා.
සිදුවූයේ කුමක් ද?
හිමි දෙයක්.
හිමි කුමක් ද?
අහිමි වීම.

Friday, July 29, 2011

සමාවෙන්න



මේක කියවන හැමෝටම ස්තුතියි. ආගන්තුකයා ලියපු ලස්සන දේවල් වලට ආදරේ කරපු අයට ආගන්තුකයා මේ ලියපු ලිපිය යි ඉස්සරහා ට ලියවෙන ලිපි යි දැකලා කලකිරෙයි ඇයි අපි ෆලෝ කරේ කියලා. ඕනකමකින් නෙමෙයි දැන් ලියන්නේ. ආගන්තුකයා ලියපු ඒවා රසවිදපු අයට ස්තුතියි. ඒ අය ටික දවසක් බලයි. ඒත් ඊට පස්සේ ඔක්කොම එපා උනාම මේක කියවන එක අත්හරී. ඒකට කමක් නෑ. මේ ටික කාලෙ ආගන්තුකයා ත් එක්ක හිටපු අයට ස්තුතියි. හැමෝටම ආගන්තුකයා එපා වෙයි දවසක. එදා වෙනකම් ආගන්තුකයා ඕනකමක් නැති බ්ලොග් ලිවිල්ල දිගටම කරන් යන්නම්. 

දහම් පාසලේ සුන්දර මතකයන් (2)

ආගන්තුකයා මේ ලිපිය ලියන්නේ ලියන්න ඕන නිසා නෙමෙයි. ආගන්තුකයා ට ලිපි ලියන්න තරම් හිකක් නෑ. ඒත් කරන්න දෙයක් නෑ. මේ අය ආගන්තුකයා ට යන්න දෙන්නෙත් නෑ. ඒ නිසා ලියන්නම්. ඒත් වෙනදා වගේ කියවන්න ආස හිතෙන එකක් නෑ. මොකද මේ ලියන්නෙ ආසාවකින් නෙමෙයි නිසා.

මම ඉස්සෙල්ලාම කිවුවා 3 වසරෙ මම දහම් පාසල් ගිහින් අවුරුද්දේ අන්තිමට තෑගිත් උස්සන් ගියපු හැටි. පස්සෙ අර සාෂණාරක්ෂක බළමණ්ඩල තරග තිබ්බා. ආගන්තුකයා ට දහම් පාසලට එන්න කියලා පුහුනු කෙරෙවුවා දවස් 2ක් විතර. ආගන්තුකයා දන්නෙ නෑ මේ මොකටද කියලා. කොහොමින් කොහොම හරි ඒකත් කරලා ඉවර කරා. පස්සේ තරගෙ දවස. වෙනදා වගේම අම්මා තමයි සරම අන්දලා දුන්නේ. හබරාදුව පැත්තේ ඉස්කෝලෙක තරග තිබ්බේ. තාත්තා මාව එක්කගෙන ගියා. මමත් ගියා. මගේ අංකෙ 37 ද කොහෙද. මට ඒක අමතක කරගන්න එපා කිවුවා. ඒකද දන්නෙ නෑ තාමත් මතක. මගේ අංකෙ 37 කියන්නේ ඉතිං 37 දෙනෙක් වත් තරග කරා කියන එක නේ. ඇත්තටම 42 දෙනෙක් හිටියා කවි කියන්න ඇවිත්. 

හැමෝටම දහම් පාසල් පොත් පැත්තකින් තියන්න කිවුවා. එක එක්කෙනාගෙ නම් කියෙවුවා. ආගන්තුකයා ගෙ නමත් කිවුවා. මගේ පලවෙනි වතාව. මමත් ගිහින් වාඩි උනා පන්තියක රවුමට තියලා තිබ්බ පුටුවක. විනිශ්චය කරන්න 3 දෙනයි. ඒ අය එක එක්කෙනා ට අඩගහනවා, ඒ අයගෙ කවි අහනවා. කවි 3 යි ගාථාවතකුයි කියන්න තිබ්බා. කවි 2යි ගාථා 2යි ද අනේ මන්දා. දැන් ආතන්තුකයා ගේ අංකේ කිට්ටුයි. ආගන්තුකයා ගේ පපුව ගැහෙනවා, අතත් පණ නෑ වගේ. 

ඔන්න විනිශ්චය මණ්ඩලේ කිවුවා, "අංක 37, ජේ. එන්. සෙනෙවිරත්න" මම බයෙන් බයෙන් ගියා එතනට. කොල වගයක් රෝල් කරලා තියලා තිබ්බා. එයින් තෝරගන්න තිබ්බේ. මම බයෙන් බයෙන් එකක් තෝරගත්තා. දන්න කවියක්. මට හොදට හයියෙන් කියන්න කියලා උපදෙස් දීලා තිබ්බා. මමත් හයියෙන් පටන්ගත්තා. ඒ කවිය මම කිවුවේ විනිශ්ච‍‍ය මණ්ඩලේට උඩින් තියන බිත්තිය බලාගෙන. කවිය කියලා ඉවර වෙලා මම වටපිට බැලුවා. පන්තිය වටේ ගහලා තියන දැල් අස්සෙන් දෙමවුපියො එබෙනවා මම දැක්කා. මට තවත් බයයි. කොහොම හරි කවි දෙක කිවුවා. පස්සෙ මොකද්ද එකක් කිවුවා ඒ ගාථාව කියන්න කියලා. මම දැනං හිටියෙ නෑ. පස්සෙ කැමති ගාථාවක් කියන්න කිවුවා. මම ඉස්කෝලෙ කියලා දුන්නු ගාථාවක් කිවුවා. කවුරුත් ඒක දැනගෙන ඉන්න නැතුව ඇති. අනේ මන්දා. මම 4න් 3 ක් විතරයි කිවුවේ. 4න් 4 ම කියපු අය ත් හිටියා. 

අන්තිමට විනිශ්චය. මම දැනං හිටියා තෑගි නම් නෑ තමයි කියලා. ඒත් අපේ දහම් පාසල අවුරුදු ගානක් එක දිගට එක නේ. මම ඒ නිසා හිටියා අපේ අයියලා අක්කලා තෑගි ගන්නවා බලන්න කියලා. ඔන්න අපේ තරගෙ ප්‍රථිඵල. මම පුටුවේ හරිබරිගැහුනා අප්පුඩිගහන්න කියලා.

"3 වසර, පද්‍ය හා ගාථා ගායනා, 2 වන ස්ථානය, ජේ. එන්. සෙනෙවිරත්න, බෝධිරාජ දහම් පාසල, උණවටුන" 

ඒ මගේ නම. මම හිතුවෙ නෑ මම 2 වෙයි කියලා. අපේ දහම් පාසලේ අය අත්පුඩි ගහනවා මගේ දිහා බලාගෙන. මම නැගිටලා ස්ටේජ් එකට ගිහින් හාමුදුරුවොන්ට වැදලා සහතිකේ ගත්තා. මම ස්ටේජ් එකෙන් බහිනකොට හැමෝම මන් දිහා බලාගෙන. අපේ දහම් පාසලේ අය තාම අප්පුඩි ගහනවා. සමහරු මගේ පිටට තට්ටු කරනවා. ඒත් මට හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා. කොහොම හරි ඒක හිතට වැදිච්ච මතකයක්. අනික මම තරග කරේ මට වඩා අවුරුද්දක් වැඩිමල් අය එක්ක. මට තවත් සතුටුයි. 

කොහොම හරි මේ විදිහටයි දහම් පාසල් කාලෙ ගෙවුනේ. 

මම කැමතියි කවුරුත් බොරු නොකියනවා නම් මේක ලස්සනයි කියලා. මොකද මම දන්නවා මේක මම ඕනකමින් ලියපු එකක් නෙමෙයි කියලා. කවුරුත් මට යන්න දෙන් නැතුව තියාගෙන ඉන්න නිසයි මේක ලියන්න සිද්ධ උනේ. ආයෙ කවදාවත්ම ලස්සන ලිපියක් ආගන්තුකයා අතින් නොලියවෙන්න පුලුවන්. සමාවෙන්න... 
මතක් කරන්න ඕන. බ්ලොග් කලාවට අලුතෙන් ආපු කෙනෙක් ගේ බ්ලොග් එකක් http://magesithuwili14.blogspot.com/ මේක. මේකටත් ගිහින් බලන්න. ආගන්තුකයා සමහර විට ආයෙ නොඑන්නත් පුලුවන්! කමක් නෑ නේ!

Thursday, July 28, 2011

දහම් පාසලේ සුන්දර මතකයන් (1)

ආගන්තුකයා ගේ ජීවිතේ ආගම දහම එක්ක ගොඩක් බැදිච්ච එකක්! පුංචි කාලෙ නම් ආගන්තුකයා දැනං හිටියෙ වැරදි කරන අය අපායෙ යනවා කියලා යි හොද කරන අය දිව්‍යලෝකෙ යනවා කියලයි විතරයි. ආගන්තුකයා ඉස්කෝලෙ 3 වසරට යනකොට ආගන්තුකයා ගෙ අම්මා ඇහුවා, "පුතා දහම් පාසල් යන්න කැමති ද?" කියලා. පුංචි ආගන්තුකයා ත් හා කිවුවා. දවසක් නිවිහැනහිල්ලේ පන්සලේ දහම් පාසල තියන තැනට ආගන්තුකයා ව එක්කගෙන ගියා. ආගන්තුකයා බලාගෙන හිටියේ උඩ. කොඩි වැල් ඇදලා හරිම ලස්සනයි. තාමත් ඒක මතකයි.

පස්සේ ආගන්තුකයාව දහම් පාසල ට ඇතුල් කරන්න එක්කගෙන ගියා. සුදු සරම අන්දලා දුන‍්නේ අම්මා. මාත් කිරි කොකා වගේ බැබලි බැබලි දහම් පාසල ට ගියා. ගියාම අම්මා යි තාත්තා යි මොනවාද මොනවාද පිරෙවුවා අනේ මම දන්නෙ නෑ. මගෙං හාමුදුරුවො ඇහුවා කීය වසරෙ ද කියලා. මම කිවුවා 3 වසරෙ කියලා. හරියට මතක නෑ, එහෙම වෙන්නැති. කොහොම හරි ශ්‍රේණිය කියන්නෙ එකක් ලු වසර කියන්නෙ තව එකක් ලු. මම ඔවුවා දැනං හිටියෙ නෑ. කොහොම හරි මම ගිහින් තියෙන්නේ මට වඩා අවුරුද්දක් වැඩිමහල් පන්තියකට. මම දැනං හිටියෙ නෑ. මොනා කරන්නද. දහම් පාසල පටන්ගත්ත දවසෙ ඉදං මම හිටියේ මගේ වයසෙ අයට වඩා අවුරුද්දක් වැඩියෙන්. ඒ අය මට අයියා කියලා කතා කලේ, මගේ වයසෙ කියලා දැනගත්තත්.

කොහොමින් කොහොම හරි ආගන්තුකයා පන්තියට ගියා. ඉස්සෙල්ලාම දවසෙ ඉස්සෙල්ලාම පාඩම "පස්මහ බැලුම්". ආගන්තුකයා ට තාම මතකයි ඒක. "කාලය, දීපය, දේශය, කුලය, මව" එදා පාඩම අදටත් මතකයි. කොහොම හරි අවුරුද්දක් ගෙවුනා. ආගන්තුකයා සැහැල්ලුවෙන් ඉගෙන ගත්තා. අවුරුද්දේ අන්තිමට මොනවාද තරග වගයක් තිබුනා. ආගන්තුකයා ත් ගියා. ඉස්සෙල්ලාම කවි කිවුවේ දහම් පාසලේ. ඒ කිවුවේ තරගයක් කියලා හිතාගෙන නෙමෙයි. නිකං ආසාවට. කොහොම හරි අපේ තාත්තා ඇව්ත් කිවුවා "අන්න පුතා කවි කියලා පළවෙනියා වෙලා". ආගන්තුකයා ට අවබෝධයක් නෑ. දහම් පාසල් සාශනාරක්ෂක බල මණ්ඩල තරග වලටත් මාව දාලා ලු. එදා මට ඒක කියාගන්නවත් බෑ. ඒත් ‍වසරෙ අවසානෙ ආගන්තුකයා ට ත්‍යාග ප්‍රධානෝත්සවේ දි පීරිසි කුට්ටන් සෙට් 3ක් ලැබුනා. එකක් ගාතා කියලා ලු. අනික දහම් දැනුමට ලු. අනික නම් මොකට ද කියලා මතක නෑ. 

කොහොම හරි අන්තිමට ආගන්තුකයාට හාමුදුරුවො කතා කලා. තාත්තා ත් එක්ක ආගන්තුකයා ගියා හාමුදුරුවො බැහැදකින්න. "පුතා අවුරුද්දක් වැඩිමල් පන්තියක නේ ඉගෙනගන්නේ. තෑගිත් තියනවා නේ බරටම." ආගන්තුකයා මොනවත් කිවුවේ නෑ. බිම බලාගෙන හිටියා. ආගන්තුකයා වැරැද්දක් ද කලේ කියලා හිතුනා. මම එදා ඒක ගැන හිත හිත ගෙදර ගියා. බරට බරේ තෑගි උස්සන් එන ආගන්තුකයා ගේ අම්මා ගෙ සතුට දැකලා ඒ සේරම අමතක උනා. ඒ මගේ ජීවිතේ සතුටු ම දවසක්. 

දහම් පාසල ගැන ගොඩක් සුන්දර මතකයන් තියනවා. ඒ ඔක්කෝම කියන්න බෑ දිගයි. ටිකෙන් ටික කියන්නම්. මොනවා උනත් අද ආගන්තුකයා මේ තැන ඉන්න මගේ දහම් පාසල, උණවටුනේ බෝධිරාජ දහම් පාසල ලොකු හයියක් උනා. සමහරු කියනවා ආගන්තුකයා ට හොදට කවි, සින්දු කියන්න පුලුවන් කියලා. ඒක එහෙම නම්, ඒ හැම දේම මගේ දහම් පාසලට පින් සිද්ධ වෙන්න. මොකද ආගන්තුකයා ඉස්සෙල්ලාම කවිය කිවුවේ දහම් පාසලේ දි නිසා...

Wednesday, July 27, 2011

දින තුනේ (දෙකේ) සංගීත පුහුණුව

මේ කියන්නේ රිච්මන්ඩ් එකේ තිබුන ප්‍රාසාංගී 2011 ගැන. ඒක අන්තර් නිවාස නාට්‍ය, ගායන, වාදන අරවා මේවා තිබ්බ ප්‍රසංගයක් වගේ එකක්. කොහොම හරි මෙහෙමයි උනේ. දැන් මේක වෙලා නම් ගොඩක් කල්, ඒත් කියන්න හිතුනා.

මේ ප්‍රාසාංගී වැඩේ ගැන අපේ නිවාසෙ අයට මුල ඉදන්ම වැඩි අවබෝධයක් තිබ්බෙ නෑ. කොහොමින් කොහොම හරි නිවාස නායක වෙලා හිටපු මම නෙමෙයි මේකෙ නයෙකයා උනේ. මම වැඩක් වැටුනෙ නෑ කියලා හිතාගෙන හරි සතුටෙන් හිටියා. ඒත් අපේ නිවාසෙ සර් ඇවිත් මගෙන් අහපි, "මොකෝ පුතේ, ප්‍රාසාංගි එක කරමු නේ.." මොනා කරන්නද අන්තිමට හා කිවුවා. දැන් මේකෙ සමූහ ගායන අංගයක් තියනවා ලු. අනිත් නිවාස ගජරාමෙට සූදානම් වෙනවා. අපේ කිසි සූදානමක් නෑ. සර් නුත් කිය කිය ඉන්නවා "පුතේ, මේක කරන්න ඕන" කියලා. අපිත් ඉතිං "ඔවු ඔවු සර් කරමු කරමු" කිය කිය හිටියා. අවසානෙ ඔන්න දවස් 3යි තරඩගට. අපේ අය කිසි සූදානමක් නෑ. කරන්න දෙයක් නෑ, මම ම වැඩේට ගියා. යනකොට අපේ පොඩි උන් ටිකක් තියාගෙන සින්දුව කියනවා. කිසි තාලයක් නෑ. අයියෝ මට සන්සාරෙ තිත්ත උනා.

මොනා කරන්නද, ඉස්සෙල්ලාම මම කට්ටියට කතා කලා.
"මල්ලිලා, අපේ සූදානම අන්තිමයි කියලා තේරෙනවා නෙ හැමෝටම. ඒත් මල්ලී අපිට කරන්න බැරි දෙයක් නෑ. හරි ද, මේ ඔක්කොටම කලිං කියන්නෙ දෙයක් කියනකොට හරියට අහන් ඉන්න තේරුනා නේ! මල්ලි, සින්දුව කියන එක නෙමෙයි මෙතන වැදගත්. අපි ඔක්කොටම කලිං දැනගන්න ඕන තැනකට ගිහින් හරියට ඉන්න. මේ ඉස්කෝලෙ විනය තමයි අංක එක. ඒ දේ තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ මල්ලිලා. මම කියලා දෙන්නම් සින්දුව. හරිනේ. හැබැයි විනය අංක එක. මම කියන දේ කරන්න, වරදිය එකක් නෑ."
ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඔළුව කහ කහ හිටපු අය කතාවට හොදට සවන්දුන්නා. මම කිවුවා පේලි හැදෙන්න කියලා. හැමෝම පේලි වල, මට හිතාගන්න බැරි උනා මේ අර කෑ ගහ ගහ හිටිය කොල්ලෝ ටික ද කියලත්.

මම සින්දුව එක පාරක් කිවුවා. කියලා ඒ අයට කියන්න කිවුවා. ඒ අය කියන විදිහ බැලුවා. හොද තත්වෙක කියන්න පුලුවන් කණ්ඩායමක්. මේක මම මෙහෙයවන පළවෙනි සංගීත කණ්ඩායම. ඒ බවක් දැනෙන්න තිබ්බෙ නෑ මම. මොනවා උනත් අපේ කොල්ලෝ පුහුනු උනේ දවස් 2යි. (තිබිච්ච දවසත් එක්ක 3 යි) අපිට අහන්න ලැබුනා අපේ සින්දුවම කියන තවත් කණ්ඩායමක්. ඒක අපි දැනගත්තේ සංගීත කාඹරේදී. හැම නිවාසෙකටම අවස්ථාව දුන්නා සංගීතෙත් එක්ක එක පාරක් කියන්න. සංගීත කාඹරේට ළමයි එක්කන් ගියේ පේලියට, පිලිවෙලට. මිස්ලාට ත් සතුටුයි. අනිත් නිවාස ආපු හැටි දැක්කාම බල්ලෝ බත් කන්නෙ නෑ. මොනවා උනත් අපි දවස් 2 හරි හොදට කරගත්තා.

ඔන්න ප්‍රාසාංගී දවස. අපි අන්තිම මොහොතෙත් ටිකක් පුරුදු උනා. පුහුණුව මදි. ඒත් දන්න ටික කරමු කියලා කට්ටිය ස්ටේජ් එකට නැග්ගා. පළවෙනි පද පේලි ටික ලස්සනට ඇහුනා. මට මාර සතුටුයි. ඊලගට සංගීතේ දෙපාරක් යන්න ඕන පොතේ හැටියට. මෙන්න සංගීතේ එක පාරක් ගියාම දෙවනි කොටසෙ සංගීතෙ වදිනවා. මට පිස්සු වගේ. අපේ අනිත් අයත් කිවුවේ නෑ. ඒත් මැදක් හරියෙදි අල්ලගෙන කියාගෙන ගියා. කරන්න දෙයක් නෑ.

විනිශ්චයට ඒකත් බලපාන්න ඇති. අපිට 1 වෙනි තැන ගන්න බැරි උනා. ඒත් ඒකෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ කණ්ඩායමේ හිටපු මල්ලිලා ටික රත්තරන්. කියන දේ ඇහුවා. කියන දේ කෙරුවා. මේ විදිහට ජීවිතේට අලුත් අත්දැකීමක් එකතු උනා. ආගන්තුකයා ව දැනන් හිටපු නැති අය ආගන්තුකයා ව දැනගත්තා. ඒ අය අදටත් ආගන්තුකයා දැක්කාම මූනෙ හිනාවක් එක්ක ආගන්තුකයා ව පිලිගන්නවා. පළවෙනි තැන නොලැබුනත් ආගන්තුකයාට ඒක ඔක්කෝටම වඩා වටිනවා...!!!

Tuesday, July 26, 2011

අලුත්

ඔන්න ආගන්තුකයා බල කරලා කරලා ආගන්තුකයා ගේ අක්කාටත් මේ බ්ලොග් ලියන්න එකතුවෙන්න කිවුවා. මේ මගේ ලොකු අම්මා ගේ දුව. ඒත් ඉතිං ආගන්තුකයා ට නම් ආගන්තුකයාගේ ම අක්කා වගේ තමයි. අක්කා මේ දැන් පළවෙනි ලිපිය ගැහුවේ. හැමෝම ඒ පැත්තෙ ත් යන්න. ගිහින් හොද නරක අඩුපාඩු එහෙම පෙන්නලා දෙන්න.


http://isuriuduwara.blogspot.com/

Monday, July 25, 2011

මගේ දෙමවුපියො (2)

ආගන්තුකයා මේ ලියන්න යන්නේ ඉස්සෙල්ලා ලියපු, හැමෝම හරි සරලෙට හිතපු ලිපියෙ ඉතුරු ටික. මේක කියවන්න කලියෙං කියවපු නැති අය කලිං ලිපිය කියවන්න. තත්පර 5ක් යයි වැඩිම උනොතින්.

හොදයි. ආගන්තුකයා ඒ ලියපු දේ පොඩි උනාට ඒකෙන් ගොඩක් දේ කියවෙනවා. "මගේ දෙමවුපියො තමයි මට ජීවිතේ ගැන කියලා දුන්නේ" ඒ කියන්නේ මම අද වෙන තුරු ජීවත් උනේ මගේ අම්මායි තාත්තා යි කියලා දුන්න විදිහට. ජීවිතේ, සරළෙට හිතුනාට ලොකු දෙයක්. අපි ජීවත් වෙන පරිසරය, මේ සමාජය, අපි අනිත් මිනිස්සුන්ට සලකන විදිහ, ඒ මිනිස්සු අපිට සලකන විදිහ, මිනිස්සු අපි ගැන හිතන විදිහ, හොද මිනිස්සු අදුරගන්න විදිහ, මිතුරුකම් ඇතිකරගන්න විදිහ, ඒවා පවත්වාගෙන යන විදිහ, දුකේදි දුක් වෙන විදිහ, සතුටෙදි හිනාවෙන විදිහ, මේ සේරම ජීවිතේ අංග. මේ එකක්වත් ජීවිතේ නෙවෙයි. ජීවිතේ කියන දේට හරිහමන් තේරුමක් දෙන්න බෑ. ඒ තේරුමක් දෙන්න බැරි දේ මට කියලා දුන්නේ මගේ අම්මා යි තාත්ත යි.

මට මතකයි මගේ පුංචි කාලෙ මගේ අම්මා කකුල් දෙක උඩ මාව තියාගෙන පද්දපු හැටි. හැංගිමුතන් කරන්න කියලා හිතාගෙන මම දොර රෙද්දක් අස්සෙ හැංගිලා හිටියා දවසක්. අම්මා යි තාත්තා යි මාව පැය ගානක් හෙවුවා. මට මතකයි මම හොරෙන් හොරෙන් අම්මා ගාවට ගියාම අම්මා මාව බදාගත්තා. මට එදා තේරුනේ නෑ අම්මා එදා ඇඩුවෙ ඇයි කියලා, ඒත් අද තේරෙනවා. 4 වසරෙදි මාව ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. මගේ පෙණහල්ලට විසභීජයක් ගිහින්, තව පරක්කු උනා නම් heart එක නවතිනවා. දොස්තර මාමා කිවුවා විතරයි අම්මා එතන තිබුන පුටුවක් උඩට කඩන් වැටුනා. මට තාම මතකයි. විනාඩි 5 ක් විතර කතාකරගන්නත් බැරුව හිටියා. පුංචි මට තේරුනේ එදා දොස්තර මාමා කියපු කතාවට අම්මා ට කලන්තෙ දැම්මේ අම්මාගෙ එකම දරුවා එදා නැතිවෙන්නත් තිබුන නිසා කියලා. එදා එහෙම උනා නම් අම්මා ගැන කියන්න ආගගන්තුකයා අද නෑ.

අපිට එච්චර සල්ලි නෑ. ඒත් මම මොන්ටිසෝරි ගියේ රිච්මන්ඩ් එක ගාව. උණවටුනේ ඉදන් දුරයි නෙළුම් මොන්ටිසෝරියට. කාර් බාර් තිබුනෙ නෑ අපට. තාත්තා උදේ පාන්දර මාව පුශ් බයිසිකලේ දාගෙන කිලෝමීටර් ගානත් පෑගුවා යන්නයි එන්නයි. තාත්තා එදා එහෙම මට උගන්නන්න මහන්සි උන නිසා තමයි අද ආගන්තුකයා මේ තත්වෙ ඉන්නේ. ආගන්තුකයා ව දන්න අය දන්නවා ඇති ආගන්තුකයා ගැන. රස කෑමක් ලැබුනොතින් තාත්තා ගේ පංගුවත් මට දුන්නා. පුංචි මම දැනගෙන හිටියෙ නෑ මම රස කර කර කිරි කනකො‍ට මගේ අම්මා යි ඒ හට්ටියෙ අඩිය හූරගෙන කනවා කියලා.

එහෙමයි මගේ අම්මා තාත්තා මට සැලකුවේ. අද ආගන්තුකයා 13 වසරේ. රිච්මන්ඩ් එකේ Prefect කෙනෙක්. 2012 උසස් පෙළ ලියන්නයි ඉන්නේ. ඒත් තාමත් අද වෙනකනුත් මගේ තාත්තා තමයි මාව ඉස්කෝලෙ ට එක්කගෙන යන්නේ. හැබැයි දැන් අර බයිසිකලෙන් නෙමෙයි. මෝටර් සයිකලෙන්. ඒ මට තනියෙම යන්න බැරි නිසා නෙමෙයි. තාම අම්මාට යි තාත්තටයි කරදඩු උස් වෙච්ච මේ කොල්ලා තාම ඒ අයගේ පුංචි පුතා නිසා.

හැමදාම වගේ ආගන්තුකයා හිතන්න දෙයක් ඉතුරු කරලා යන්නම්. ජීවිතේ කියන දේ වගේම ආදරේ කියන දේත් නිර්වචනය කරන්න බෑ. මොකද අපිට කවදාවත්ම අපේ හිතේ ඇති වෙන හැගීම් වචන කරන්න බෑ. උත්සාහයක් දරන්න පුලුවන්. ඒත් අපි ඒ කියන්නේ අපිට දැනෙන ඒ දේ ස්වභාවය මිසක් ඇත්තටම ඒ දේ නෙමෙයි. ආගන්තුකයා එදා පොඩිවට කියපු දේ අද ලොකු කතාවක් කලා. ඇත්තම කියනවා නම් අද කියපු මේ කතාව එදා කියපු කතාවට වඩා හරිම පොඩියි.

ආගන්තුකයා ගෙ ලිපිය කියෙවුවාට ස්තුතියි. මේ ලිපියේ වැරදි අඩුපාඩු පෙන්නලා මේ ගැන යමක් කියලා යන්න. ආගන්තුකයා කැමතියි අනිත් අය ආගන්තුකයා ගැන මොකක් ද කියන්නේ කියලා දැනගන්නත්.

Sunday, July 24, 2011

මගේ දෙමවුපියො (1)


පොඩි කාලෙ කියපු කතාවක් වගේ මේ කතාව. හරිම කෙටියි, සරළයි.


මගේ දෙමවුපියන් තමයි මට ජීවිතේ ගැන කියලා දුන්නේ! මම මගේ දෙමවුපියන්ට ආදරෙයි....!!!


මේක තමයි ආගන්තුකයා මෙච්චරකාලෙකට කියපු කෙටිම කතාව...!!!

Saturday, July 23, 2011

උපහාරය

මේ බ්ලොග් ලියන වැඩේට අත ගැහුවෙ නිකං. කරකියාගන්න දෙයක් නැති උනාම. ඒත් දැන්... අනේ මන්දා... ඇයි මම මේක නවත්තනවා කිවුවාම මෙච්චර අය මට ඉන්න කිවුවේ. මම දන්නෙ නෑ ඇයි කියලා. මේ මාස එකහාමාරට පුදුම සහෝදරත්වයක් ඇති වෙලා. 


මේ හැමෝටම ගොඩක් ස්තුතියි කරුණු විමසුවා ට, කරුණු කිවුවාට.. එක එක්කෙනාට වෙන වෙනම කියන්න ගොඩක් වෙලා යයි. මොකද හැමෝම කියපු ඒවා ට උත්තර බදින්න සහ ස්තුති කරන්න මම දැනට ලියපු ලිපි ගාන වගේ දහගුණේකින්වත් බැරි වෙන නිසා. ආයෙ ආගන්තුකයා එන්නම්. පුලුවන් පුලුවන් විදිහට හිතට දැනෙන දේ කියන්නම්. ඒත් විශේෂයෙන් කියන්න ඕන, දුකා අයියේ ගොඩක් පිං. කඩේ හාමිනේ නංගි දැං දන්නවා නේ ආගන්තුකයා කවුද කියලා. බෙලෙකා මලයො ස්තුතියි. ප්‍රාර්ථනා අක්කා හරි නංගි හරි ස්තුතියි. සදූ නංගියේ කියන්න බැරි දෙයක් නෑ මගේ නංගිට. අනේ අනිත් අය තරහා වෙන්න එපා. හැමෝටම ස්තුතියි. ආගන්තුකයා ආයෙ ඉන්නවා. මේ අය විතරක් නෙමෙයි ෆේස් බුක් එකේ හැමෝම ත් මතක් කරනවා. ගොඩක් ස්තුතියි.

මම මේ කඩිමුඩියෙ ආවෙ. වාර විභාගෙ කිට්ටුයි. මොනවා හරි බලාගන්න ඕන. ඒකයි ටිකක් ලියන්න උනේ. මට සමාවෙන්න. ඉඩක් ලැබුන ගමන් ලියන්නම්. වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න. මට ඒක ගොඩක් වටිනවා.  

Thursday, July 14, 2011

සමුගැන්මට මත්තෙන් ආගන්තුකයා

නම : ජනිත නිර්මාල් සෙනෙවිරත්න
පාසල : රිච්මන්ඩ් විදුහල / ගාල්ල
පන්තිය : 2012 උසස් පෙළ ගණිත
වි‍ශේෂ : ෆේස් බුක් එකෙන් දැනගන්න තිබුනා. ඒත් අද ඒකටත් සමු දුන්නා. මෙහෙම කියන්නම්. සින්දු අහන්න කියන්න හරි කැමතියි. සින්දු කියන කණ්ඩායම් මෙහෙයවන්න ආසාවක් ආවා මේ ලගදී. ලිපියක ගහන්න හිටියේ. ඒත් ආයෙ එන්නෙ නෑ නෙ. ඉස්සර රිච්මන්ඩ් IT society (RITS) එකේ ලේකම්. මේ අවුරුද්දෙ අපේ ඉස්කෝලෙ හැමදාම අන්තිම වෙන ස්මෝල් හවුස් එකේ නායකයා. මේ හැම දෙයක් ගැනම කියන්න හිටියෙ. කියන්න වෙන්නෙ නෑ. සමාවෙන්න. ඔයගොල්ලො හැම කෙනෙක්ටම සුභ පතනවා.


පල්ලෙහා මම ඇති. කොහේ හරි දැකලා ඇති සමහරු. ඒ අයට මතක් වෙයි මූ ද මේ පිස්සා කියලා.


හැමෝටම තෙරුවන් සරණයි!


ප.ලි.
මම හිතුවෙ නෑ මාස එකහාමාරක් මේකෙ හිටපු ආගන්තුකයා ට මෙච්චර කට්ටිය ආයෙ ඉන්න කියාවි කියලා. ආගන්තුකයා ෆේස් බුකියට ආයෙමත් ආවා.

සමුගැන්ම

ආයෙ ආගන්තුකයා එන්නෙ නෑ. ජීවිතය විතරයි නැතිවෙන්න තියෙන්නේ. ඒකත් නැති උනාම ඔක්කොම ඉවර වෙයි. හැමෝටම තෙරුවන් සරණයි..

Tuesday, July 12, 2011

ආගන්තුකයා ගැන

ඇත්තටම අමතක උන දෙයක් තියනවා. ආගන්තුකයා බ්ලොග් එකක් හැදුවා. ඒක පබ්ලිශ් නුත් කරා. පෝස්ට්ස් නුත් දැම්මා. කට්ටිය ප්‍රතිචාර ත් දුන්නා. ඒත් ආගන්තුකයා ට තේ‍රුනා මොකක් හරි අඩුයි කියලා. දැන් ඒක කල්පනාවට ආවෙ. ආගන්තුකයා, තමන් ගැන කිවුවෙ නෑ නේ. මේක නිකං හරියට පාදමක් නැති ගොඩනැගිල්ලක් වෙලා වගේ. දාහක් දෙනා බැලුවාට පස්සෙ හරි ඔන්න එහෙනම් ආගන්තුකයා ගැන.

ආගන්තුකයා, නමින්ම තේරෙනවා ඇති බ්ලොග් වලට අලුත් කියලා. ඒති ඉතිං ඒක බ්ලොග් වලට විතරක් නෙමෙයි. හැමදේටම. ඇත්තම කියනවානම් දන්න ඇති දෙයක් නෑ. කිසි දෙයක්. අපි හැමෝම එහෙමයි. අපි හැමෝම ආගන්තුකයෝ. හැබැයි මේ ආගන්තුකයාට තේරුනා තමන් ආගන්තුකයෙක් කියලා. ඒකයි මේකෙ ඇත්ත කතාව.

මේ ආගන්තුකයා එක එක විකාර ගහනවා. සමහර ඒවා තඹ සතේකට වැඩක් නෑ. ඒත් ඉතිං මේ හැමදේම ආගන්තුකයාට ජීවිතේදි වෙච්ච ඇත්තම ඇත්ත දේවල්. සමහරු කියනවා මේක කියෙවුවාම දුකක් ඇතිවෙනවා ඒක නිසා හිනාවෙන්නත් මොනවා හරි දාන්න කියලා. ඒ අපි හැමෝම විනෝදෙන් ඉන්න ආස නිසා. ඒත් ඉතිං මොනවා කොරන්න ද? හැම කතාවක්ම ඉවර වෙන්නේ අපිට ඕන විදිහට නෙමෙයි නේ. කරන්න දෙයක් නෑ.

තවත් එකක්. ආගන්තුකයා මේකෙ තමන්ගේ හිතට දැනිච්ච දේවල් ගහනවා. ඉස්සෙල්ලා ගහලා තියෙන්නේ ඒ වගේ එකක්. බැලූ බැල්මට මහ විකාරයක්. ඒත් ඒකෙ තියෙන දේවල් ආගන්තුකයාට නම් ගොඩක් දැනුනා. කොහොමින් කොහොම හරි, මේ ආගන්තුකයාගේ ජීවිත කතාව එකාකාර නෑ. සමහර තැන් උසයි, අනික් තැන් පහතයි. කන්දක් උඩ ඉදන් ලෝකාන්තයට වැටෙනවා වගේ දේවලුත් මේකෙදි සිද්ධ වෙනවා. ඒක තමයි ජීවිතේ කියන්නේ. ජීවිතේට මුහුන දෙන්න කැමති අය ආගන්තුකයාත් එක්ක ඉදියි. හොද නරක කියයි. අනිත් අයටත් පාර පෙන්නයි. ආගන්තුකයා, ආගන්තුකයෙක් ගැන කියලා පාර පෙන්නන්නේ තවත් ආගන්තුකයෝ රොත්තක් හදා ගන්න නෙමෙයි. ආගන්තුක ජීවිතෙන් ඈත් වෙන්න.  
ආගන්තුකයා ගැන දැනගත්තා ඇති ද මන්දා. නම් ප්‍රසිද්ධ කරන්නෙ නම් නෑ. ඒත් ආගන්තුකයා කවුද කියලා ගොඩක් අය දන්නවා. කොහොම්න් කොහොම හරි, ඕන කෙනෙක් තමුන්ට හිතෙන දෙයක් කියලා යන්න..... 

Sunday, July 10, 2011

ජීවිතේ හම්බුවෙන මනුස්සකම

දන්නෙ නෑ මොනවා ලියන්නද කියලා.. ආගන්තුකයා හැමදාමත් ලියන්නෙ තමුන් ගැන, නැත්නම් ආගන්තුකයා ට වෙච්ච අනිත් මිනිස්සුන්ට සත පහකට වැඩක් නැති අකරතැබ්බයක්. ඔන්න ඔහොම කියන කට්ටියට දැන් තවත් දෙයක් කියන්න තියනවා. ඒ තමයි "ආගන්තුකයා ලියන්නේ විකාර" කියන එක. මේක තමා ඉස්සෙල්ලාම ලියන්න හිතිච්ච විකාරෙ. බලමු අපි. මේ ලියන්නෙ මිනිස්සු ගැන. මිනිස්සුන්ගෙ මනුස්සකම ගැන.


අපි හැමෝම දන්න දෙයක් තියනවා. අපි හැමෝම ඒ දේ කියනවා. අද මනුස්සකම බල්ලාට ගිහිල්ලා‍. කට්ටියට මතක් කරන්න ඕන කොළඹ. ඇහුව ගමන් කියයි "පිස්සුද මනුස්සකමක් ගැන කතාකරන්න එහේ" කියලා. ආගන්තුකයා ත් හිතාන උන්නෙ එහෙම තමයි. මේ බල්ලාට ගියපු මනුස්සකම අදටත් තියනවා දෙයියනේ. මේ අදටත්. අදටත් මේ සමාජෙ තියනවා ඒ මනුස්සකම.


*ආ හෙට උපන්දිනේ නේද? අපිට ඕන පාටියක්. කොහෙද.. මේ ලෝබයා දෙයි පාටි..
*ආගන්තුකයෝ, දන්නවා ද? පාටියක් දෙන්න පුළුවන්. ඒත් අපි පාටි දැම්මයි කියමුකෝ. අපි වගේම මිනිස්සු ඒවි. ඇවිත් කාලා බීලා සින්දු කියලා නටලා හිත සතුටු කරගන්න ඒ අය දන්න විදිහට සතුටු කරන් යාවි. ඒත් දන්නවාද ආගන්තුකයෝ අපි ඒ මෝඩ සතුටක් ලබන වෙලාවේ මිනිස්සු කීදාහක් නම් එක බත් කටක් කන්න නැතුව හාමතේ වතුර උගුරක් බීලා නිදාගන්න යනවා ද කියලා. කීදාහක් මැරිලා යනවා ද කියලා. අම්මලා කී දෙනෙක් අඩා වැටෙනවා ද කියලා දන්නවාද දරුවා ට බත් කටක් කවාගන්න සල්ලි නැතුව. මම පාටි දෙන්නෙ නෑ ආගන්තුකයෝ, මම දෙනවා දානයක්. අසරණ වයසක අම්මලා තාත්තලා ට. :)
*ආගන්තුකයා ට කියන්න ඉතුරු උනේ මොකද්ද? ඒ වෙලේ ආගන්තුකයා ගේ කම්බුලෙන් කදුලු බින්දුවක් කඩන් වැටුනා ආගන්තුකයා දන්නෙත් නැතුවම.


ඒ කදුලු බින්දුව බිම වැටුනත් එක්කම ආගන්තුකයා ට තව දෙයක් තේරුනා. තාම මේ ලෝකෙ මනුස්සකම් තියනවා. මනුස්සකම් තියන රත්තරන් මිනිස්සු ඉන්නවා. ඒත් ආගන්තුකයා ට ප්‍රශ්නයක්. මෙච්චර මනුස්සකම් තියන මිනිස්සු ඉන්න පුලුවන් ද?