Monday, May 28, 2012

ආගන්තුකයාගේ අලුත් පිස්සුව - Photography | මසකට පසුව

මේ පුදුම දහිරියක් දාලා පෝස්ට් එකක් ලියන්නෙ මාසෙකට පස්සෙ ඉන්නම බැරි නිසා. මගේ කොම්පියුටරේ හාඩ් ඩිස්ක් එක පිච්චුනා නෙ ඉතිං කොහෙ බ්ලොග් ලියන්නද? ඒ මොනා වෙතත් මේ පෝස්ට් එක ලියන්නෙත් හාඩ් එකක් නැති කොම්පීටරෙම්ම තමයි. ඒ කොහොමද කියලා දන්නවා නම් හිනා යයි. ඇත්තම කිවුවොත් මේ පාර නම් පෝස්ට් එකක්මත් නෙමෙයි නිකං "පින්තූර ප්‍රදර්ශනයක්" වගේ එකක් තමා පෙන්නන්න යන්නෙ. ආගන්තුක පොටෝ ටිකක්. මං ගත්තුවා වගයක් නිකං ඉන්න බැරුවාට. බුකියෙත් දැම්මා. දාන්න දෙයක් නැති නිසා මේකෙත් දාන්න හිතුවා. බොහෝ විට තව මාස 3 කට ලියන අන්තිම පෝස්ට් එක මේක වෙන්නත් පුලුවන්.

වෙසක් සද

කොහොමද බත්කූරා??

ඔය ඉන්නෙ දිඹියෙක්.. හෙහ්..

නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ

ගොඩ ඉන්න මුහුදු අස්පයෙක්

සය කන් මන්ත්‍රණය


මේ ටිකක් විතරයි. තව ගොඩක් තියනවා දාන්න. ඒත් මේවා එඩිට් කරන්න ඕන නෙ. ලයිව් ඩිස්ක් එක දුවන ගමන් ගිම්ප් ශොප් ඕපන් කරාම හිර වෙනවා. ඒ නිසා හාඩ් එකක් දාලා පොටෝශොප් දාගත්තාම ම දාන්නම්.  ඒත් එක්කම මේ පෝටෝ වල වැරදි අඩුපාඩු පෙන්නලා ක්රොප් කරලා එහෙම දුන්න බනියාට ගොඩක් ස්තුතියි. ඒත් එක්කම යසන්ත අයියාටත් ගොඩක් ස්තුතියි. මට ඉතිං මේවා ගහන්න SLR, DSLR කැමරා නෑ. චුට්ටකට හම්බුවෙච්ච Olympus ඩිජිටල් කැමරාවකිනුයි ගත්තෙ. රසවිදින්න මේවා දැම්මෙ.

Friday, May 4, 2012

Mod උන සිංහල බෞද්ධ කම

මේ ලිපිය ලියන්න හිතුවෙ අද කාලෙ මිනිස්සු බොහොමයක් "බෞද්ධකම" කියලා කියන දේට අලුත් අලුත් අර්ථකතන දෙන්න පටන් අරන් තියන නිසාමයි. ඒ දේ වෙන්නෙ කටින් නෙවෙයි, ක්‍රියාවෙන්. ඇත්තම කිවුවොත් මේ දේවල් මෙහෙම වෙලා කියලා කියන්නත් දුකයි. ඒත් නොකිය ඉන්න හිතෙන්නෙත් නෑ මේ 2601 වෙනි බුද්ධ ජයන්තිය ලබන්න තියන වෙලාවෙ. ඇත්තෙන්ම මම අවධානය යොමුකරන්න බලන්නෙ තරුණ පරපුර ගැන විතරක් නෙවෙයි. මුළුමහත් ජනසමාජෙම ගැන. ඇත්තෙන්ම කියනවා නම් "බුද්ධ ධර්මය" නැතුව "බුද්ධ දර්ශනය" අනුගමනය කරන මිනිස්සු හීන වේගෙන යන කාලෙකදියි මේ ගැන ලියන්නෙ.

හෙට වෙසක්. වෙසක් කියලා මොනවාද අපි කරලා තියෙනනෙ? කූඩු හදලා... බල්බ් වැල් දාලා.. සරසලා.. සමහරු කූඩු නැතුව බකට් ගෙනල්ලා.. ඉටිපන්දම් ගෙනල්ලා.. සමහරු පුංචි පහේ තොරන් හදලා.. සමහරු කරන්න දෙයක් නැති කමට වෙසක් ලබද්දිම පබ්ලිශ් කරලා කට්ටියව ටැග් කරන්න "සුභ වෙසගක් වේවා" කියලා පින්තූර හදලා. ඇත්තටම වෙසක් කියන්නෙ මේකද? ටිකක් හිතලා බලමු‍. කවුද මේ වෙසක් කියන එක වෙන විදිහකට දැක්කෙ? අපි බැබලෙන්න කරන මේ දේවල් නැතුව අසරණ මනුස්සයෙක් බබලවන්න අපි එක දෙයක් වත් හිතුවා ද? අපි බලමු. වෙසක් කියන්නෙ මොකද්ද? බුදුහාමුදුරුවන්ගෙ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම.. ඇත්තටම මේ  දෙයින් කියවෙන්නෙ මොකද්ද කියලා කවුද හිතුවෙ?

"අඩෝ දන්සලක් වදින්න යමං.. ගිහින් ෆුල් ෆන් එකක් ගමු"

මේකද වෙසක් කියන්නෙ? ඇත්තෙන්ම වෙසක් කියලා හදුන්වන්න බුළුවන් "අනිත්‍යතාවය" කියන සංකල්පයට තියන හොදම උදාහරණය විදිහට. මේ ලෝකයට පහල වෙලා, මේ ලෝකයේ තියන හැම දෙයක්ම අවබෝධ කරගෙන බුදු බව ලබාපු බුදුන් වහන්සේත් මේ වගේ දවසකම තමයි පිරිනිවන්පෑවෙ. කොච්චර උතුම් පුද්ගලයෙක් උනත් අන්ති‍මේදි ඉතුරු වෙන්නෙ අන්ත්‍යතාවයම තමයි. අපි හැමෝම මැරෙනවා. ඒ දෙයයි ඇත්ත. සමාජයේ අපිට දකින්න ලැබෙන ප්‍රායෝගික "ඇත්ත" මොකද්ද කියලා බලමු පොඩ්ඩක්.

"වෙසක් දවසට යන්න ඕන වෙසක් බලන්න. නිකන් නෙමෙයි හොද කැමරාවක් එක්ක. හැම එකකම පින්තූර ගන්න ඕන. නිකන් නෙමෙයි තමන් වෙසක් කූඩු ඉස්සරහා ඉදගෙන එහෙම. යාළුවො සෙට් එක එකට එකතු වෙලා කරට අතදාගෙන එහෙම. ගෙදර කන්න තියෙද්දි යන්න ඕන දන්සැලකට. ගිහින් පෝලිම පැනලා දන්සල් බත් කාලා ෆන් එකක් ගන්න ඕන. ඒ ඔක්කොම පින්තූර අරගෙන එදා රෑට ඇවිත් ෆේස්බුක් දාන්න ඕන. ඒ ඇල්බම් එක නේම් කරන්න ඕන "I am proud of being a Buddhist" කියලා. ඒක තමයි තරුණ කම කියන්නෙ."

කොච්චර නම් මුක්ධ ද? කොච්චර නම් පිළිකුල් සහගත ද? වෙසක් දවසට වෙසක් කූඩු හදලා තියනවා දකිද්දි, තොරන් ඉදි වෙලා තියනවා දකිද්දි, දන්සල් දෙනවා දකිද්දි ද බෞද්ධයන් කියන එකේ ආඩම්බරකමක් දැනෙන්නෙ? "ෆුල් ෆන්" එකක් ගන්න තියන නිසා ද වෙසක් දවස අර්ථවත් වෙන්නෙ? නැත්නම් වෙසක් එකක් තියනවා ද කියලාවත් මතකයක් තියනවාද? දන්සල් වදිද්දි, තොරන් බලද්දි කල්පනා වෙනවා ද වෙසක් කියන එකේ අර්ථය මොකද්ද කියලා? ඒ තරුණයන්.

"අනේ තිලෝගුරු අමාමෑණී සම්බුදුරජාණන් වහන්‍සේ ඉපදුන, බුදු උන, පිරිනිවුන දවස. ළමයිනේ වරෙල්ලා මාත් එක්ක සිල් ගන්න. උදේ පාන්දරම යන්න ඕන. නැත්තං කණුවක් හරි මුල්ලක් හරි අල්ලගන්න වෙන්නෙ නෑ. උදෙන්ම ගිහින් ඉන්න ඕන. දවසම ඉන්නත් එපායැ."

මේ වයසක, සිල් ඇත්තො කියලා හිතන් ඉන්න අය. මේ අය උදෙන්ම ගිහින් මුල්ලක් අල්ලගෙන නිදාගන්න එක තමයි සිල් ගන්නවා කියලා අදහස් කරන්නෙ. 

"අප මහා සම්මාසම්බුදුරජාණන් වහන්සේ..."

"සාදු සාදු සාසාසාදු..."

මොන විකාරයක් ද ඇත්තටම? නිදාගෙන ඉන්න තැනින් ඇහැරිලා සාදු සාදු කියලා බෙරිහන් දෙන්නෙ "බුදුහාමුදුරුවො" කියන වචනෙ ඇහෙද්දි. ආයෙමත් හොදට නිදි. ඇත්තටම වැඩක් තියනවා ද මේ දෙයින්. සිල් ගන්නවා කියලා කියන්නෙ එක දවසකට හරි ගිහි ගෙයින් නික්මයාමක්. නිස්කලන්ක පරිසරේක බනක් භාවනාවක් කරගෙන, ධර්ම සාකච්ඡාවක අර්ථවත්ව යෙදිලා, නොදන්න ධර්ම කරුණු, තමන්ට ගිහි ජීවිතේ ගැන තියන ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්නෙ කීයෙන් කීදෙනාද? "මුලාව, ඇලීම, ගැටීම" කියන මේ දේවල් වලින් මිදෙන්න හිතන්නෙ කීයෙන් කීදෙනාද? මේ ලෞකික සැප ගැන නොහිත මොහොතක් ඉන්න අපිට පුළුවන් ද? අපි අපෙන්ම අහලු බලමු.

"ඇත්ත" ගැන කතාකරමු. වෙසක් පොසොන් එද්දී ඉස්සෙල්ලාම දන්සැල් දෙන්නෙ එක්කො හොද ලොකු "මස්කඩකාරයෙක්" නැත්නම් ලෝකෙ නැති වැඩ ඔක්කොම කරලා සල්ලි පොදි ගහ ගත්ත "කළුකඩකාරයෙක්" ඔවුන්ගේ "පවු සමාකරගන්න". ඒත් ඔවුන්ට අමතක වෙච්ච දෙයක් තියනවා. ඔවුන් කරන කර්මය අනුවයි විපාක තීරණය වෙන්නෙ. අහෝසි කම්මයක් නොවුන හැම දෙයක්ම කවදා හරි අපිට පඩිසන් දෙනවා. තමන් සල්ලි හම්බුකරන්න කරපු "පවු" වල විපාක ඔවුන්ට ලැබෙනවා. ඒත් එක්කම ඔවුන් දෙන දන්සැල දෙන්නෙ ඇත්තටම අනිත් මිනිස්සු වෙනුවෙන් නම් ඔවුන්ට ඊට අදාල විපාක ත්, ඒ නැත්නම් ඔවුන් ඒ දේ කරන්නෙ "පවු සමාකරගන්න" නම් ඊට අදාල විපාකත් නොවරදවාම ලැබෙනවා. ඒ කෙසේ වෙතත් දන්සැල වැදලා එන කෙනෙක්,

"ඕකා ලෝකෙ නැති දහදුරා වැඩ ඔක්කොම කරලා සල්ලි පොදි ගහගෙන ඉන්නෙ. මිනිස්සුන්ගෙ සල්ලී හූරගෙන කාලා දැන් සුදනා වෙන්න හදනවා. ඕකුන්ට දන්සැල් එකක් නෙමෙයි දාහක් දෙන්න සල්ලි තියනවා."

කිවුවාම ලැබෙන්නෙ හොද ආශිර්වාදයක් කියලා මම නම් පිලිගන්නෙ නෑ. 

තවත් දෙයක්. ගොඩක් අයට අපි "බෞද්ධයො" කියලා මතක් වෙන්නෙ පෝය දවස එද්දි. ගොඩක් තරුණයො එහෙම අනිවාරියයෙන්ම පෝයට හොද ලොකු පන්සලකට යනවා යාළුවො එක්ක. වෙන මොකකටවත් නෙමෙයි. පින් දහම් කරගන්න ආපු "රූපසුන්දරියොන්ගෙ රූසපුව" දැකලා ඉන්ද්‍රියන් පිනවගන්න. ඒ කිසි කෙනෙක් බන කියද්දි පන්සලට වෙලා ඉන්නෙ නෑ. පෝය දවසෙ ඉස්සෙල්ලාම පන්සලට ගිහින් "ඇස" පිනවගෙන පස්සෙ ටවුමට ගිහින් "ඇස, කණ, දිව, නාසය" පිනවගන්න අමතක කරන්නෙ නම් නෑ බොහෝ දෙනෙක්. 

අපි බෞද්ධයො වෙන්න ඕන පෝය දවසට විතරක් නෙමෙයි. අපි හැමදාමත් බෞද්ධයො. අනිත් මිනිහෙක්ගෙ දුකකදි හිත උණු නොවෙනවා නම්, වැඩිහිටියෙක් කියන දේකට අවනත නොවෙනවා නම්, අපේ ඉන්ද්‍රියන් පිනවගන්න විතරක් ලොල් වෙලා නම්, අඩු තරමෙ පන්සිල් වල එක සිල් පදයක්වත් ආරක්ෂා කරගන්න බැරි නම්, ඒ ඔක්කොම එහෙම වෙද්දි ලෝකෙට පේන්න සිල්වතෙක් වෙලා හවසට බුදුන් වදිනවා නම් ඒ කෙනා බෞද්ධයෙක් ද?

අපි මේ මනුස්ස ජීවිතේ ලබාගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් පින් රැස් කරගෙන. ඒ පිනට අර්යක් දෙන්න උත්සාහා කරන්නෙ නැත්නම් අපි අපිටම කරන්නෙ ලොකු වංචාවක්. අපි රවට්ටන්නෙ ලෝකය නෙවෙයි, අපිවමයි.

ඒත් එක්කම කියන්න ඕන නියම බෞද්ධයො විදිහට ජීවත් වෙන රත්තරං මින්ස්සු මේ සමාජයේ ඉන්නවා. මඩේ ඉපදිලා, ඒ මඩේම හැදිලා වැඩිලා, ඒ මඩෙන් උඩට ඇවිත් මුළු ලෝකෙම සුවදවත් කරන ඒ මිනිස්සුන්ට ආගන්තුකයාගෙ උත්තමාචාරය..!!!

සියළු දෙනාගේම සිතේ පහන් සිතුවිලි ජනිත වන වෙසගක් වේවා..!!!


ප.ලි. : මේක කියවන බෞද්ධයන් නොවන අනිත් අයට ත් මේ දේ වැදගත් වෙයි කියලා හිතෙනවා සමහර විට. මොකද "බෞද්ධකම" කියන දේ ගොඩක් පිවිතුරුයි. ඇත්ත "බෞද්ධයො" ඔවුන්ගේ බෞද්ධකම ක්‍රියාවෙන් ඔප්පු කරයි.. 

Tuesday, May 1, 2012

කරුමක්කාරයා (කෙටිකතාව)

මෙච්චර කාලෙකට අනිත් අයගෙ ජීවිත වලට එබුන ඔහු අද ඔහුගේම ජීවිතේටම එබිලා බලන්න ඕන කියලා හිතුවා. ඒ අනිත් අය තමන් ගැන කවදාවත් තේරුම්ගන්න උත්සාහා නොකරනවා කියලා ඔහුට හිතුන නිසා වෙන්නත් ඇති. මරණය කියන්නෙ හැම දේකම නිමාව නම් මැරෙන එක හොදයි කියලා හිතුන වාර ගණන අනන්තයි. ඒත් මේ කාළකණ්නි ලෝක ධර්මතාවයෙන් කියන්නෙ ආයෙ ඉපදෙනවා, ලෙඩ වෙනවා මහළු වෙනවා ආයෙමත් මැරි මැරී උපදිනවා කියලා. ඒ නිසා ඒ තීරණය හිතින් අයින් කළා. ඒත්.. මරණය කියන්නෙ අලුත් ජීවිතයක ආරම්භයක්. අළුත් විදිහට පටන්ගන්න පුළුවන් කියලා වෙලාවකට මේ හිතට හිතුනත් මොලයෙන් අහපු ප්‍රශ්නය තමයි,

"ඇයි උඹ මැරෙන්න දගලන්නෙ. උඹට මතක නැද්ද මේ මනුස්ස ජීවිතේ කියන්නෙ බොහොම කාලෙකිං අපි කරන කියන පින් බලෙන් ලැබෙන දෙයක් කියලා? උඹ හිතනවාද උඹ ඔය උඹ උඹවම මරාගෙන කරගන්න පවෙන් උඹට ආයෙමත් මනුස්ස ආත්මයක් ලබන්න පුළුවන් කියලා."

"ඒත් මොකටද මනුස්ස ආත්මයක්. මේ ජීවිතේ කාළකණ්නි උන එකේ තවත් ඇයි මේක පවත්වගන්නේ. අපි ගේම් එකක් උනත් කරන් බෑ කියලා හොදටම දැන දැන නිකං කාලෙ නාස්ති කරන්නෙ නෑ නේද? ඒක නවත්තලා ආයෙ පටංගන්නවා නේද? ඇයි මේ ජීවිතේට එහෙම කරන්න බැරි?"

"උඹ හිතන්නෙ ජීවිතේ කියන්නෙ සෙල්ලමක් කියලද මිනිහෝ? ඕන ඕන වෙලාවට නවත්තන්නයි ආයෙ රී-ස්ටාර්ට් කරන්නයි? උඹ හිතන්නෙ උඹ සතෙක් උනත් කමක් නෑ කියලාද? උඹ මොකෙක් වෙයි කියලාද හිතන්නෙ? හොද පෙරහැරේ යන අලියෙක්? ගෙදරක ඇති කරන හොද බල්ලෙක්? උඹ පාරේ දඩාවතේ යන බල්ලෙක් උනොත්? මිනිහෙක්ගෙ පයට පෑගිලා මැරිලා යන කූඹියෙක් උනොත්? උඹටම පිලිකුල් කැර‍පොත්තෙක්... ගැඩවිලෙක්... නැත්තං කූඩැල්ලෙක් උනොත්.."

"හ්ම්ම්... ඔවු... ඒ දේත් ඇත්ත.. ඒත්.."

"ඒත් මොකද?"

"ඒත් මම කොහොමද ජීවත් වෙන්නෙ? මම මගේ ජීවිතේ කරගත්තෙ එකම එක දෙයක්.. ඒත් ඒ දේ..??"

"ඇයි මොකද? උඹව දාලා ගියාද? ඒ ජීවිතේ විතරද උඹට ඕන? ඇයි උඹට තියන හැකියාවන් එක්ක වෙන ජීවිතයක් තොරගන්න උඹට බැරි ද?"

"නෑ පුළුවන්.. උඹට මේවා තේරෙන්නෙ නෑ.. ඒ ජීවිතේ මාව දාලා ගියේ නෑ.. මට තේරෙන්නෙ නෑ.. ඒත් ඒ ජීවිතේ මගේ ජීවිතේ කරන් ඉවරයි මම.. ඒ ජීවිතේ අයිතිකාරිට මාව වැදගත් නැති වෙලා වගෙයි මට හිතෙන්නෙ.."

"උඹ සිතුවිල්ලකටද වහල් වෙලා ඉන්නෙ? උඹට සාමාන්‍ය පෙළ ට ඒ 9යි නේද? උඹේ මහලොකු ජීවිතේ වෙනුවෙන් ද උඹ ඒ ලෙවල් කෙළකරගත්තෙ? උඹ ජීවත් වෙයං උඹේ අම්මා තාත්තා වෙනුවෙන්.. ඒ අය හැමදාම උඹව අගය කරාවි"

"නෑ.. ඒ දේ කවදාවත් වෙන්නෙ නෑ.."

"උඹ කොහොමද එහෙම කියන්නෙ"

"මම පොඩිකාලෙ කවි කියද්දි අම්මා ටී.වී. එක දාන ගමන් කිවුවෙ දැන් ඇති ඕක නවත්තපං කියලා.
මම පන්තියෙ හොද ළකුණු ගත්තාම අම්මා ඇහුවෙ ඇයි අර ළමයත් ළමයෙක් නෙ ඒ තරම් ළකුණු ගන්න බැරි උනේ ඇයි කියලා.. මම ඒ 9ක් ගත්තාම අම්මා ඇහුවෙ මුල් 25 දෙනාට එන්න බැරි උනේ ඇයි කියලා.. මං හොදට සින්දුවක් කියද්දි ඒකෙ පොඩ්ඩක් වැරදුන ගමන් අම්මා කිවුවෙ අන්න වැරදුනා කියලා.. තාත්තා කිසි දෙයක් කිවුවෙ නෑ.. මං කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ?"

"හරි.. උඹට අගයකිරීමක් නෑ කියමු.. උඹේ ජීවිතේට මොකද වෙන්නෙ? උඹ ජීවිතේ කරගත්තා කියලා උඹ කිවුව, උඹ ඇත්තටම ඇත්ත නොදන්න ජීවිතේට මොකද වෙන්නෙ"

"හ්ම්ම්.. ඒ කතාව ඇත්ත.. ඒත් දැං හුගක් කල්.."

"උඹ කොහොමද ඒ ජීවිතේට සමු දුන්නෙ.."

"මට අන්තිමට වෙච්ච කිසි දෙයක් මතක නෑ. මට මතක අපි රණ්ඩු උනා කියලා. මං එදා යන්න ගියා අකවුන්ට් එක ඩීඇක්ටිවේට් කරලා. ආයෙ එයා මං ගැන පොඩ්ඩක්වත් හොයලා බැලුවෙ නෑ."

"ඉතිං උඹ උඹේ ජීවිතේ කරගත්තෙ එයාව නම් ඇයි ආයෙ ගියේ නැත්තෙ?"

"මම හොරෙන් හොරෙන් ගියා. ඒත් ම කිසි මැසේජ් එකක්වත් මොනවත් ඇවිත් තිබ්බෙ නෑ. අන්තිමට බැනලා තිබ්බ එක ඇරෙන්න. මම ඒක ඕපන් කරේවත් නෑ. එයා එයාගෙ යාළුවොත් එක්ක සතුවෙන් හිටියා එයාගෙ අකවුන්ට් එකේ.."

"උඹ කොහොමද දන්නෙ තාමත් එයා එහෙමයි කියලා.. මං කියනවාට තව එක පාරක් ගිහින් බලපං.. උඹ ඔය නැතිකරගන්න හදන උඹේ ජීවිතේ ආයෙ වෙනස් වෙන්න බැරි නෑ.."

"හොදයි උඹ බුද්ධිමත් ඇති.. මම තව එක වතාවක් යන්නම්"

මොළයයි හදවතයි අතර සිද්ධ උන ඒ දීර්ඝ සංවාදෙ ඔහුගේ ජීවිතේ වෙනස් කරයි කියලා ඔහුත් හිතුවා. ඒ නිසාම ඔහු එදා කම්පියුටර් එක ඉස්සරහා වාඩි උනේ අමුතුම බලාපොරොත්තුවකින් වගේ. ඇත්තමට ඔහු මේ දේට මෙච්චර කල් හිටි එක ගැන හිතින් දුක් උනා. ඒත් කාලය ගෙවිලා ඉවරයි. එදා ඒ රණ්ඩුවට දැන් අවුරුද්දකුත් දවස් 12 ක්. ඔහුට ඇයව හමුවෙලා අවුරුදු දෙකක් පිරෙන්න එක දවසක් අඩු දවස. ලොකු බලාපොරොත්තුවකින් අවුරුද්දක් තිස්සෙ address bar එකේ ටයිප් නොකරපු ඒ දෙය ඔහු ටයිප් කරා.
www.facebook.com
ඔහුගේ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි කොහොම අමතක වෙන්නද? පිලිවෙලට ඒ දෙක ටයිපි කරා. ලොග් ඉන් බට්න් එක ඔබලා ඔහු බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

"YOU HAVE TO WAIT FOR ANOTHER 24 HOURS TO REACTIVATE"

ඒ වචන පේලිය කොච්චර නම් බියකරු ද? මෙච්චර කාලයක් ඉවසලා තවත් දවසක්.. මෙච්චර ඉවසපු එකේ තව දවසක් ඉවසන එක මොකද්ද?


"ගිය අවුරුද්දෙ අපි ආදරේ කරන්න පටන් අරන් පළවෙනි අවුරුද්ද ගෙවෙන දවසෙ මට ඉන්න උනේ නෑ එයා ළග.. හෙට අපිට අවුරුදු දෙකයි.. හෙට යන්න පුළුවන් එකත් එක අතකට හොදයි"

ඔහු එහෙම කියලා හිත සනසගත්තා. අවුරුද්දක් අමාරුවෙන් ඉවසුව ඔහුට මේ දවස නම් ඉවසන්න පුළුවන් උනේම නෑ. ඒ ඇයි කියලා ඔහු දන්නෙත් නෑ. ඔහුට ඇය නැතුව ජීවත් වීමක් ගැන හිතන්න බෑ. ඒ තරම්ම ඇයට ආදරේ කරා.. 

"එයා ඒත් මම කියන දේවල් පිලිගනී ද...? මම කියන දේවල් එයා පිලිගත්තෙ නැති නිසයි අපි එදා වෙන් උනේ.. නෑ නෑ එයාටත් මං නැතුව ඉන්න බෑ.. එයා මට ආදරෙයි.. මං දන්නවා ඒක.." 

හිත සනසාගත්තා. අනිත් දවසේ හරියටම පැය 24 පිරෙන වෙලාවටයි ෆේස්බුක් ලොග් උනේ. නොටිෆිකේශන්ස් 182 ක්‍. මැසේජ් 4 ක්. කලින් ඇක්සෙප්ට් නොකළ රික්වෙස්ට්. ඔහු ඉස්සෙල්ලාම ගියේ අර මැසේජ් 4 බලන්න. හරි පුදුමයි ඇයගෙන් මැසේජ් එකක්. ඔහු ඒ මැසේජ් එක කියවන්න උත්සුක උනේ පුදුම ආසාවකිං.


"ඔයාට ඕන උනේ මාව දාලා යන්න නෙ. දැං ගිහින් වෙන කෙල්ලොත් එක්ක සතුටින් ඉන්න"

ඒ මැසේජ් එක හිතට බෝම්බයක් ගැහුවා වගේ. ඒත් ඒක එවලා තියෙන්නෙ අවුරුද්දකට කලිං. තරහාවට එවපු මැසේජ් එකක් වෙන්න ඇති. ඒත් එක්කම කලිං යෙහෙලියක්.

"ආ.. මේ ඔයාද? කොහෙද අප්පේ ගිහිං හිටියෙ?"

ඇයට රිප්ලයි කරන්න ඔහුට හිතක් නෑ. ඉන්න හැම කෙනෙක්වම ඕෆ්ලයින් දාන්න හදද්දි ඇයත් ඔන්ලයින්. ඇයව විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම ඕෆ්ලයින් දාලා ඔහු බයෙන් බයෙන් කිවුවෙ,

"හායි.."

කිසි පිළිතුරක් නෑ. එකපාරටම ඇය ඕෆ්ලයින්. 

"එයා ටිකකට කලිං ලොග්අවුට් වෙලා වෙන්න ඇති.. ඔහොම වෙනවා නෙ.. ශික් ටිකක් කලිං ආවා නම්.. එයාට කෙලින්ම කියන්න තිබ්බා.. කමක් නෑ.."

ඔහු ගියේ ඇගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට. චූටි බබෙක් හිනා වෙලා ඉන්න ඇගේ ප්‍රොෆයිල් පික්චර් එක දකිද්දිත් ආසයි. මුලින්ම ඔහුගේ නෙත ගැටුනෙ ඇගේ ස්ටේටස් එකක් මිනිත්තු 42 කට කලිං දාපු. ඒත් එක්කම ඔහු හිතුවෙ තමන් තව ටිකක් කලිං ආවා නම් කියලා.


"Yes it's the special day I met you who changed my whole life from a hell to a heaven. ^_^
Love You <3"


"මං ගැන නේද මේ ගහලා තියෙන්නෙ? අනේ එයා තාම මට මෙච්චර ආදරේ ද? මම ඇයි එදා එයාව දාලා ගියේ.. මට එයාට එහෙම නොකරන්නයි කිබ්බෙ.. ඒත් එයා මම නෑ කියලා කිසි ගාණක් නැතුව ඉන්නවා දැක්කාම? මම කොහොමද ආයෙත් එන්නෙ? කමක් නෑ ඒ දේවල් ඉවරයි. දැන් කරන්න තියෙන්නෙ එයාට මෙච්චර කල් හිතින් කරපු ආදරේ වචන කරන එක."

එහෙම හිතපු ඔහු ඇයට දිග මැසේජ් එකක් ගහන්න ගත්තා. ඒත් එක්කම පැත්තෙන් වැටෙන නොටිෆිකේශන් එකකින් පෙන්නුවෙ ඇය තවත් කෙනෙක්ගෙ රික්වෙස්ට් එකක් ඇක්සෙප්ට් කරා කියලා. ඔහුගෙ මුළු ඇගම හීතල උනා. ඒ නොටිෆිකේශන් එක උඩ ක්ලික් කරලා වෙන ටැබ් එකකින් ඕපන් කරා.

"යාළුවො 3218ක්?"

ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරගත්තා. පස්සෙ පිස්සුවෙන් වගේ අකවුන්ට් එක පල්ලෙහාට යන ගමන් පහුගිය අවුරුද්දෙ වෙච්ච දේවල් බැලුවා. හැමතැනම පින්තූර. වීඩියෝ. හැම එකකටම කමෙන්ට්ස් 100 කට වැඩියි. 

"එයා මං නැති උනා කියලා සතුටින් ද ඉදලා තියෙන්නෙ?"

එහෙම හිතපු ඔහු කෙලින්ම ගියේ ඉන්ෆො බලන්න. 

"නෑ නෑ මේ තියෙන්නෙ අපේ ඇනිවසරි එක. එයා ඒක රිමුව් කරලා නෑ. එයා මට තාම ආද... මොකද්ද දෙයියනේ මේ? මේ වෙන කෙනෙක් එක්ක රිලේශන්ශිප් එකක්?"


මුළු ඇගම හිරිවැටුන ඔහුට කරන්න දෙයක් හිතාගන්න උනේ නෑ. ඔහු ලිය ලිය හිටපු මැසේජ් එක එන පාරින් මකලා දාලා වෙන මැසේජ් එකක් ගැහුවා.

"Why did you do this to me?"

ඔහුට ඒ මැසේජ් එක ගහන්න විනාඩි 15 ක් වත් යන්න ඇති. වෙවුලන අත් දෙකෙන්, කදුළු පිරිච්ච ඇස් දෙකෙන්. ඒ එක්කම මොනිටරය දිහා බලන් උන්නෙ මොකක් හරි දෙයක් දැන් වෙයි දැන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. පැයකට පස්සෙ රිප්ලයි එකක්.

"Can't you remember, you told me to be with someone else. And so I did."

ඔහු කියෙවුවෙ එච්චරයි. ආයෙ ඇයගෙ අකවුන්ට් එකට යන්න ඇගේ නම උඩ ක්ලික් කරා.

"This page is not available"

ඔහු එතනින් නැගිට්ටෙ බලාපොරොත්තු සුන් වෙලා.. කිසි දෙයක් අහන්නෙ නැතුව මළමිණියක් වගේ කාඹරෙන් එලියට යන ගමන් ස්විච් එකට පයින් ගැහුවෙ කම්පියුවරේ නිවෙන්න. ඔහුට හිතන්න දේවල් ගොඩයි. ඒ හැම දෙයක් ම ඔළුවෙ තියාගෙන බයිස්කලේ උඩට නැග්ග ඔහු, එදා වත්ත එලිටය බයිසිකලේ දැම්මෙ කිසි බලාපොරොත්තුවකින් නෙමෙයි.


පස්සෙ දවසෙ උදේ ඔහු ගැන හැමෝම කතා වෙනවා. ඔහු පුදුම විදිහටයි ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ. පත්තර වල  T.V. එකේ Radio වල... හැමතැනම. ඔහු ඉස්කෝලෙ කාලෙ ඉදන් කළ දේවල් ඔක්කොමත් එක්ක.. 

වෙනසකට තිබ්බෙ එක දෙයයි. ඔහු ගැන කියපු දේවල් ඔහුටම අහන්න නොලැබිච්ච එක. 

ප.ලි. : ‍මේක ෆේස් බුක් එකේ ශෙයා කරපු හිම හංසි අක්කාට ගොඩක් ස්තුතියි..

ප.ප.ලි : මේක මට උන සිද්ධියක් නෙවෙයි. කරගත්ත මෝඩකමක් කියලා හිතෙනවා දැන් නම් කතාවක් ලියලා. :( කොහොම හරි මෙහෙම දෙයක් වෙන්න බැරි නෑ ඕන කෙනෙක්ට, මට විතරක් නෙවෙයි. ඒත් එක්කම මේකෙ අවසානයේදී අගවලා තියෙන්නෙ අසිහියෙන් මහපාරෙ බයිසිකලේකින් යන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් මිස ඔහු විහින් කරගන්න දෙයක් නෙවෙයි. ආයෙත් නං කෙටි කතා ලියන්නෙ නෑ :( 

Monday, April 30, 2012

Comments ගැන ඇත්ත කතාව

කමෙන්ට්ස් කියලා අපි සරළව හදුන්වන්නේ "අදහස් දැක්වීමක්". නැත්නම් "හොද නරක විචාරයක්", "විස්තර කිරීමක්" විදිහටත් මේ දේ හදුන්වන්න පුළුවන්. ඔය කමෙන්ට්ස් කියන සංකල්පෙ අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් වල හොදහැටි පැලපදියම් උනේ ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියත් එක්ක. ඒකෙ "ස්ටේටස් කමෙන්ට්ස්", "ෆො‍ටෝ කමෙන්ට්ස්", "වීඩියෝ කමෙන්ට්ස්" ,"ලිංක් කමෙන්ට්ස්" වගේ නානාවිධ කමෙන්ට්ස් වර්ග ඇතුලත් උනා. ඊට පස්සෙ මේ බ්ලොගර් එකේ තියන කමෙන්ට්ස්. මේ ගැන දන්නෙ නම් ටික දෙනයි.

කොහොමින් කොහොම හරි කමෙන්ට්ස් කියන දේ ගැන මම දකින්නෙ මෙහෙම. අපි ඉස්සෙස්සෙල්ලාම ෆේස්බුක් ආවාම දකින දකින හැම එකටම කමෙන්ට් ගහන්න ගත්තා. පස්සෙ පස්සෙ මේ කමෙන්ට් ගැහිල්ල අඩු උනා යාළුවො වැඩි වෙද්දි. පස්සෙ පස්සෙ අපි බලාපොරොත්තු උනා අපේ ස්ටේටස් කමෙන්ට් වලින් පුරවගන්න. අපේ ‍ෆොටෝ කමෙන්ට්ස් වලින් පුරවගන්න. මෙන්න මේ විදිහට අපේ හිත් වෙනස් වෙන්න ගත්තා. ඒත් එක්කම තව කෙනෙක්ට තමන්ට වඩා කමෙන්ට්ස් ලැබීම මදිකමක් විදිහටත් සමහරු දැක්කා.‍ තමන්ට කමෙන්ට්ස් ගොඩක් ගන්න තමන්ට පුළුවන් තරම් නිර්මාණශීලී දේවල් එකතු කරන්න සමහරු වෙහෙස ගත්තා. 


ඒත් එක්කම ෆොටෝ ටැග් කරන ඔප්ශන් එක දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ කමෙන්ට්ස් ගන්නමයි. සාමාන්‍යයෙන් අපි ෆො‍ටෝ එකක් ටැග් කරනවා කියන්නෙ ඒකෙ ඉන්න අදාල පුද්ගලයන්ව තෝරලා ඒ ෆොටෝ එකට බද්ධ කිරීම. ඒත් දැන් දැන් සමහර ෆොටෝ වල කිසි අදාලත්වයක් නැති යාළුවන්ත් ටැග් කරන්න අමතක කරලා නෑ. හොද වෙලාවට 50 යි ටැග් කරන්න පුළුවන්. නැත්නම් ඊටත් වඩා ටැග් කරනවා. අවුරුද්දට සුභ පතන්න, නත්තලට සුභ පතන්න වගේ දේවල් වලටත් දැන් ෆොටෝ ටැග් වෙනවා. ඒත් ඔය ටැග් කිරීමෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඒ ටැග් කරපු පුද්ගලයාගෙන් "කමෙන්ට්" එකක් ලබාගැනීම.  ඇත්තටම වෙලාවකට ටැග් කිරීම කියන එකත් වදයක්. කෙනෙක් කමෙන්ට් කරන කරන ගානට නොටිෆිකේශන්ස් වලින් පිරෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නෙ ඉතිං පෝස්ට් එක "අන්ෆලෝ" කරන එක.


කොහොමින් කොහොම හරි "ප්‍රසිද්ධ චරිත" කියලා දැන් හදුන්වන්නෙ දාන දාන හැම එකකටම කමෙන්ට් 50 ක් 60 ක් වැටෙන අයට. ප්‍රසිද්ධිය මනින මිම්මක් විදිහට දැන් කමෙන්ට්ස් ක්‍රියා කරනවා කිවුවොත් හැ‍මෝම එකග වෙයි. ඒත් එක්කම ගැහැණු පාර්ශවය දාන දාන හැම එකකටම අනිවාර්යයෙන්ම පිරිමි පාර්ශවයට වඩා කමෙන්ට්ස් වැටෙනවා. කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මා කිවුවොත් ඉතිං කොල්ලන්ට තව දෙයක් නෑ. සමහරු අහනවා "කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් දාලා ගියත් ඇයි බං ඔච්චර කොමෙන්ට්" කියලා. ඒත් ඉතිං ඒ අයම තමයි ගෑණු අයගෙ කෙහෙල් ලෙලි කමෙන්ට්ස් වලින් පුරවන්නෙ. ඒත් එක්කම කියන්න ඕන කමෙන්ට් "හිගාකන" මිනිස්සුත් අනන්තවත් දැන් ඉන්නවා. 

"අනේ බං අරකට කමෙන්ට් එකක් ගහපංකො"

කියන අය ඕන තරම් දැකලා ඇති. සමහර වෙලාවට කාලෙකිං ඔන්ලයින් ගියාම ජීවිතේට කතා කරලා නැති අය එකපාරට හොදට "හායි" කියලා එහෙම ඊට පස්සෙ ලිංක් එකක් එවනවා "අනේ මේකට කමෙන්ට් එකක් දාන්න ප්ලීස්" කියාගෙන. ඒ වෙලාවට තමා මරුවා සිහිවෙන්නෙ. ඇත්තමට මුන්ට ඕන කමෙන්ට්ස් විතරද කියලාත් හිතෙනවා අනන්තවත්. ඉසස්ර කට ඇරං කමෙන්ට් එනකං බලං හිටියත් ඒක මහ විහිලු වැඩක් කියලා මට දැං තේරිලා තියෙන්නෙ. තමන්ව අගය කරන්න අකමැති කෙනෙක්ගෙන් බලෙන් කමෙන්ට් ගන්න ටැග් කරන්න, අරවා මේවා කරන්නෙ මොකටද? ඒ නිසා දැං දාන එකක් දාලා නිකං ඉන්නවා ඕන නං කමෙන්ට් කරපං නැත්තං නිකං හිටපං කියලා. 


අපි දැං එමු බ්ලොග් එක පැත්තට. බ්ලොග් එකේ කමෙන්ට් එකක් වදින්නෙ සාමාන්‍යයෙන් ටිකක් කල් බ්ලොග් ලියලා පරිනත අයට. ගොඩක් අය බ්ලොග් එක ලස්සනට තියාගන්න උනන්දු වෙනවා. ඇත්තෙන්ම එතකොට ඒ ලස්සනටම කමෙන්ට් එකක් ගහන්න හිතෙනවා. බ්ලොග් පෝස්ට් "සින්ඩි වල" එතකොට "ෆේස්බුක් එකේ" පබ්ලිශ් කරන්නෙ ඉතිං කමෙන්ට් එකක් ගන්නම තමයි. මේ බ්ලොග් කෙරුවාවෙ නම් ගෑණු, පිරිමි කියලා භේදයක් නෑ. කමෙන්ට් වදින්න නම් ඒකට මං දැක්ක විදිහට පහත කරුණු වැදගත් වෙනවා.

* බ්ලොග් පෝස්ට් එකේ ගුණාත්මකභාවය
* සිත්ඇදගන්නාසුළු බව
* බ්ලොග් අවකාශයේ පරිනත බව සහ ඇති ප්‍රසිද්ධිය
* බ්ලොගයේ ‍ෆලෝවර්ස් ලා ගණන
* තමන් අනිත් අයගේ බ්ලොග් වල කමෙන්ට් තබන ප්‍රමාණය
* බ්ලොග් පෝස්ටුව පබ්ලිශ් කරන ස්ථානගණන සහ එයට එන ප්‍රමාණය
* ඇනොනිමස් කමෙන්ට් ආදිය සක්‍රීය කර තිබීම.
* වර්ඩ් වෙරිෆිකේශන් දමා තිබීම.

ඇත්තටම බ්ලොග් පෝස්ට් එකකට කමෙන්ට් එකක් වැටෙනවා කියන්නෙ ටිකක් වටින දෙයක් (මටනම්. මොකද වැඩිය වැටේන්නෙ නෑ නෙ). ඒකට හේතුව තමයි තමන්ගෙ අත්දැකීමක්, නැත්නම් තමන් අනුන් එක්ක බෙදාගන්න කැමති දෙයක් අනුන් කොච්චර හොද විදිහට දකිනවාද කියන එක දැකගන්න තියන ආසාව. ඇත්තටම මම ගහන පෝස්ට් එකකට උපරිම 10 දෙනෙක් කමෙන්ට් කරයි. ඒත් ඒ කමෙන්ට් 10 මට නම් වටිනවා ෆේස්බුක් එකේ වදින කමෙන්ට් 100 කට වඩා. ඒ මොකද කියනවා නම් තමන් දීර්ඝ වශයෙන් විස්තර කරන අදහසකටයි තමන්ට කමෙන්ට් එකක් වදින්නෙ. ඒ නිසා ඒ ලැබෙන අදහස වටිනවා ඇත්ටම. කොහොම හරි "පරිනත" කියලා හදුන්වන බ්ලොග් ලියන කියන අය යන්නෙ සාමාන්‍යයෙන් ඒ හා සමාන බ්ලොග් වලටම තමයි. ඒත් එක්කම නවකයොන්ටත් හොද ප්‍රතිචාර එනවා ඒ අයගෙ පෝස්ට් වල ගුණාත්මකබව එක්ක. (නවකයොත් නොවෙන පරිනතත් නොවෙන අයට තමා හුලං. හෙහ්..)


ඇත්තටම කියනවා නම් විභාගෙ වැඩ අස්සෙ බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් එකක් ගහන්න වෙලාව හරි අඩුයි පෝස්ට් එකක් කියවලා. ඒත් පුලු පුලුවන් වෙලාවට කියවන පෝස්ට් දෙකතුනක් කියවලා ඒ ගැන ඇත්තටම දැනෙන දේ ගහන්න අමතක කරන්නෙ නෑ වචන කීයක් ගියත්. කොහොමින් කොහොම හරි කමෙන්ට් ගැන මට දැනෙන්නෙ මේ විදිහට. හරි ද වැරදිද කියලා නම් අදහසක් නෑ.

ප. ලි : මොනවා උනත් මේක විකාර පෝස්ට් එකක් වෙන්නත් පුළුවන්. කියවද්දි කම්මැලි හිතිලා යන්නත් පුළුවන්. ඒ මොනවා උනත් මේක කමෙන්ට්ස් ගැන කියපු නිසා කමෙන්ට් මං කිවුව ගානට වැඩි වෙන්නත් බැරිකමක් නෑ. ඒ කොහොම වෙතත් මං කිවුවෙ කාලයක් තිස්සෙ ටිකක් හිතපු දෙයක්.

Saturday, April 28, 2012

ජීවිතේ පාලු මකපු Photoshop

ඒ කාලෙ ඉදන් මම හිටියෙ තනියෙම. පවුලෙ එකම ළමයා මම වගේම අපි ඉන්න පරිසරය එච්චර හොද නැති නිසා මම ගෙදර බිත්ති හතර ඇතුලෙ කොටු වෙච්ච කෙනෙක්. මේ පාලුව මකන්න මට උදවු කරේ මගේ‍ ‍‍කොම්පියුටරේ තමයි. ඉස්සර ඉස්සර ගේම් ගහ ගහ කාලෙ නාස්ති කරත්, පස්සෙ තේරුනා ඒක මහ විකාර වරඩක් කියලා. ඒ නිසාම ඒ කාලෙ ඉන්ටනෙට් නුත් තිබ්බෙ නැති එකේ මම කරේ ෆොටෝශොප් වලින් වැඩ කරපු එක. අවුරුදු ගාණක් උනත් මේවා දකිද්දි ආසයි. ඒ නිසා මේ ටික දාන්න හිතුවා මේ විදිහට..

මේ තියෙන්නෙ 2008 අවුරුද්දෙ ඒ කියන්නෙ මම 10 වසරෙ ඉන්දිද්දි Photoshop cs2 වලින් එඩිට් කරපු පින්තූර ටිකක්
ඔය ඉන්නෙ මගේ වෙන යාළුවෙක් කලින් යාළුවාගෙ, යාළුවාගෙ දුයත් එක්ක
ඔය තියෙන්නෙ අර මුල් යාළුවාගෙ නම
මේ ඉන්නෙ මං (කොහොමෙයි එඩිශන් එක.. හෙහ්)
ලෙඩෙක් කෑගහද්දි තමා හොදට ශොට් එක ගන්න පුළුවන්
මේ ඒ කාලෙ අපේ යාළුවො සෙට් එක.. ඔය හිනා ටික එකතු කරගන්න වැඩි ගේමක් දෙන්න උනේ නෑ. හැබැයි වටිනවා
  මේ තියෙන්නෙ ටිකක් ළගදි හදපුවා..

මේ මයෙ ඉස්සෙල්ලා එක්කෙනා (හදපු එකක් හොදේ)
පුළුවන් නම් කියමු බලන්න ඔතන කවුද මම කියලා??

මේ මයෙ අළුත් කෙල්ල.. ලස්සනයි නෙහ්..
මේ මං දන්න ශිල්ප දාලා හදාගත්ත ප්‍රොජෙක්ට් එකේ කවරෙ
අනේ ඇත්තමයි පොටෝශොප් බුදුවෙන්ඩෝන..


මං දන්නෝ ඉතිං මං එච්චර හොද එඩිටර් කෙනෙක් නෙවෙයි. ඒත් මං මේක කරේ මගේ පාලුව මකාගන්න.
හදපු ඒවා ගැන කියන්න තියනවා නම් දෙයක් කියලා යන්න. තව හැදෙන්න ඒන තැන් එහෙම. 
(අර 2008 විතර හදපුවායෙ කලර් බැලන්සින් එහෙම අවුල්. දැං ඒවා ටිකක් ටිකක් දන්නෝ) 
(පැහැදිලි මදි වගේ නම් පොටෝ එක උඩ කොටන්න)