Saturday, February 16, 2013

සිහිනෙක අතරමංව



නිවුනු පසු හැම විදුලි බුබුලක්.. 
වසාගන්නට සිතෙයි නෙත් මට..
මොහොතකට හෝ සගවගන්නට..
සිතේ ඇති බිය නෙතේ බැල්මෙන්..

කළුවරින් ලොව ගැවසගද්දී.. 
අන්ධකාරේ දොරටු අතරින්..
අඩගසන සුමිහිරි හඩින් මා..
වශී වී නෙතු අයා බැලුවෙමි..

සුරගනක් ඇත කවුළුවෙන් පිට..
සිනහ පාමින් කොමළ කරමින්..
ඇගේ සිනහව මිලින වෙයිදෝ..
සිතෙන්නේ නැත ලංවන්න මට..

නොහැක මා හට වෙන්ව යන්නට..
හිරු නැගී ලොව අදුර දුරු වී..
මසිත බිය නැත එළිය ලොවකට..
නමුදු අවදිය අවැසි නැත මට..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන දැනම එය එක් සිහිනයක් බව..




Thursday, January 31, 2013

මාත් ඒ ලෙවල් කරා.. රිසල්ට් ආවා.. දුකයි..

ඇත්තටම මට මේ රිසල්ට් එක ගැන දුකක් නෑ. මොකද මට තවදුරටත් මේ රිසල්ට් එක ඕන වෙන්නෙ ඉස්සරහාට ඉගෙනගනිද්දි 'උසස් පෙළ සමත්' කියලා ලේබල් එකක් විදිහට පෙන්නන්න විතරයි. ඒත් උසස් පෙළ කියන අවුරුදු දෙකක කාලෙට සූදානම් වෙන්න කාලය, ශ්‍රමය, ධනය කැපකරපු මිනිස්සු පිරිසක් ඉන්නවා. මම ඒ අයට අද කරේ ලොකු අසාධාරණයක්. මගේ හිත ඒක දන්නවා. ඒත් ඒ ගිය කාලෙ ආපහු ගේන්න බැහැ. ඒ කාලෙදි කරපු පිස්සු මෝඩ තකතීරු වැඩ නවත්තගෙන ඉස්සරහට යන්න කාලයක් ඉදිරියේ තියෙන්නෙ. අම්මා, තාත්තා, මගේ ගුරුවරු, මගේ ඉස්කෝලෙ, මේ දේවල් මගේ ගැන තියන් හිටි බලාපොරොත්තු අද මං විනාස කරලා ඉවරයි. 

අම්මායි තාත්තයි දන්නවා මට දැන් උසස් පෙළ රිසල්ට් එකෙන් වැඩක් නෑ කියලා. ඒ නිසා කමක් නෑ. ඒත් අපේ පන්තියෙ මිස්... කවදාවත් මට බැනලා නෑ. අද බැන්නෙත් නෑ. කෝල් එක ආන්සර් කරලා කිවුවෙ, බැජ් එක ගහගත්තෙ නැත්නම් ඒ 3ක් ශුවර් කියලා. ඒ කිවුවාට මිස් දන්නවා ඒ නිසා නෙමෙයි මෙහෙම උනේ කියලා. ඒ කොහොම වෙතත් මිස් අද කියපු දේවල් වලින් ලොකු දුකක් දැනුනා. 

මම මිස් ට කිවුවා, 
"ආයෙ ඒ ලෙවල් කරන්න නම් බලාපොරොත්තුවක් නෑ, මම දැන් ඩිග්රි එකක් කරන ගමන් ඉන්නෙ" කියලා.

මිස් කිවුවෙ, 
"දැන් කරන දේ හොදට කරන්න" කියලා. 

ඔය වම්පැත්තෙ ඉන්නෙ ගණිතය අංශෙන් ගාල්ලෙ 6 වෙනියා

ඒත් එක්කම තවත් දුකක් තියනවා. හැමදාම උසස් පෙළ විභාගෙන් ලොකු තැන් වල ඉන්න මිනිස්සු හදපු අපේ ඉස්කෝලෙට මම අද කිසිම දෙයක් දුන්නෙ නෑ. ඒ මොනවා උනත් මගේ එහාපැත්තෙ හිටි යාලුවා ගාල්ලෙ 6  වෙනියා. පේලියක් පස්සෙන් උන්නු යාලුවෙක් ගාල්ලෙ 10 ලංකාවෙ 47 වෙනියා. මාත් එක්ක ෆිසික්ස් පන්තියේ මගේ එහා පැත්තෙ ඉදන් සමහර ගණන් මගෙනුත් අහන් හදපු ගජයා බයෝ වලින් ගාල්ලෙ 7 වෙනියා. ඔය වගේ අහල පහල උන්නු අය බහුතරයකගෙන් අහන්න ලැබුනෙ ගොඩක් හොද ප්‍රතිඵල. අවංකවම මාර සන්තෝසයි. එකී මෙකී නොකී හැමෝටම මගේ හදපිරි උත්තමාචාරය. ඒ වගේම දැන් කොච්චර කළකිරුනත් ගිය නුවණ වගේම ගිය කාලෙ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ. ජීවිතේ කියන්නෙ උසස් පෙළත් නෙමෙයි. ඒ නිසා අර 'මෝඩයො 3 දෙනා' ගෙ කතාවෙ වගේ මම දැන් කරන්නෙ මම ගොඩක් ආස ක්ෂේත්‍රයක්.. ඒ දෙයින් ඉස්සරහට යන්න උපරිම උත්සාහය දෙනවා.. 

Saturday, January 26, 2013

සැටලිම



වෙර දෙමි නුඹට..
නැග සිපගන්ට නුබ ගැබ..
වෙර ඇති තුරා මට..
ඉවත ලන තුරු..

බලා හිදිනෙමි..
කාෂ්ඨක අවුවේ..
අනෝරා වැස්සේ..
නුඹේ හැඩ‍‍..

මිහිකත පහස ලැබ..
ඇරයුම් ලබන තුරු..
දිරාපත් වන්ට..
නුඹේ සෙවනේ..

Monday, December 31, 2012

මගේ සිහිනයට


අවදිවන්නට සිතක් නැත මට..
ක්ලේශ ගින්නෙන් පිරී ඉතිරී..
දකින්නට ඒ දැවී අලු වුනු..
සිත් නමුත් පරවුනු කැකුලු වන්...

අවදී වී සිටි කාලෙයේ මම..
සිතිමි සුන්දර දසුන් නෙත ගැට..
හිමිව මා හට වසන කලටම..
සෙවන සලසයි අන්ධකාරෙන්..

නමුදු වරෙකට බැලිමි වට පිට..
එළිය තනිකර අදුර රජ වී..
වසාගෙන සැම ඉරෙහි කිරණම..
ඉඩැර නෙත්යුග වසන්නට මට..

හරිත වන වූ තුරුලතා මැද..
සිටී මා ඒ සිරියහන මත..
‘සිහිනයකි එය නිමා නොම වෙන‘
වරෙක සිතුවෙමි මුක්ධ විලසින්..

නොදැනුනෙමි එය නිමවනා බව..
දැවී අලුවී පිලිස්සෙන තුරු.. 


- ජනිත සෙනෙවිරත්න

Wednesday, December 26, 2012

ගෙදරදි පින්තූරයක් ගහගත්ත හැටි


සාමාන්‍යයෙන් අපි මොකක් හරි දේකට පින්තූරයක් ගහගන්න ඕන උනාම ඉස්සෙල්ලාම දුවන්නෙ ස්ටුඩියෝ එකකට. සීනි කිලෝ එක 100 යි කියලා බැන බැන යන අපි ඒ ගන්න චූටි පින්තූර කෑලි 4 කට රු. 350 ක් දෙන්න පොඩ්ඩක්වත් මැලි වෙන්නෙ නෑ. නොවැම්බර් වල මටත් ඒ වගේම සිද්ධියකට මුහුණ දෙන්න උනා. ‍තොරතුරු තාක්ෂණ ආයතනෙට යන්න මි.මි. 30 x 40 ප්‍රමාණයෙ පින්තූර 3ක් අරන් එන්න කියලා ලිවුමෙ ගහලා තිබ්බා. ඕක දැක්ක අම්මාත් කිවුවෙ ගාල්ල ටවුන් එකට ගිහින් පින්තූරයක් ගහන් එන්න කියලා තමා. ඒත් ඉතින් මම ඒ අදහසට නම් එක හෙලා මගේ විරෝධතාවය ප්‍රකාෂ කරා. මම අම්මාට කිවුවෙ මම ම පින්තූරයක් ගහගන්නං ඔච්චර සල්ලි වියදං කරන්න ඕන නෑ කියලා.

කලින් නොකරලා තිබ්බත්, ජීවිතේ පළවෙනි වතාවට මමත් මගේම මිලිමීටර් ගානක චූටි පින්තූර කෑලි දෙකක් ගහගන්න සූදානං උනා. (එක අතකිං ලැජ්ජාව වහගන්නත් ඕන නෙ ඉතිං දන්නැද්ද..) Portrait Photography ගැන වැඩි දැනුමක් අවබෝධයක් නොතිබ්බත්, ළගදි බලපු Canon Speed Light Tutorial එකේ තිබ්බ ආලෝක පාලනය ගැන චූට්ටිත්තක් ඔලුවට ගිහින් තිබ්බෙ. අනික ඉතින් ඔය චූටි පින්තූර කෑල්ල එච්චර උසස් මට්ටමේ තියෙන්න ඕනත් නෑ නෙව! අනික තමා ස්ටුඩියෝ එකට ගිහින් ගහන පින්තූර වල මොකක් හරි ඇදයක් තියනවා. මට ඉන්න හිටින්න තේරෙන්නෑ ඒ මිනිස්සු කියන හැටියට. වෙලාව කියන්නෙ අපේ උඩ ගෙදර හිටි අයියා කෙනෙක් ගාව Canon 450D කැමරාවකුයි 50mm Portrait Lens එකකුයි තිබ්බා. අපේ අම්මාගෙ අවුරුදු තිස් ගාණක් පරණ ත්‍රිපාදය (Tripod) එකත් අරගෙන ඒකට හයි කරලා එහෙම මමත් වැඩේ පටංගත්තා‍. පාවිච්චි කරපු ජාති,

* Canon 450D කැමරාව
* 50mm Portrait Lens එක
* අම්මාගෙ Tripod එක
* සීලිමේ තිබ්බ ලයිට් එක
* හිච්චි කණ්නාඩි කෑල්ලක්
* හෝල්ඩරයක් හයි කරපු ප්ලග් කරන්න පුලුවන් වයර් කෝඩ් එක (තාත්තාගෙ නිශ්පාදනයක්)
* බල්බ් එකක්

ඉස්සෙල්ලාම කරේ හොදට එලිය වැටිලා තියන තැනක් හදා ගත්ත එක. පුටුවක් එහෙම තියලා ඉස්සරහින් ‍ට්‍රයිපොඩ් එක හයි කරපු කැමරාව තියලා ඉතුරු ආම්පන්න මේ විදිහට හදාගත්තා. (කැතයි හොදේ මට අදින්න තේරෙන්නෑ :/ )


ඔන්න ඔය විදිහට තමයි තිබ්බෙ. අහ් තව එකක්. අර කැමරාවෙ තිබ්බෙ පොප් අප් ෆ්ලෑශර් එක. ඒකෙන් කිසිම පාලනයකින් තොරව ඩෝං ගාලා මූණට එලිය වදිනවා. එහෙම ගත්තාම මූණ විකෘති වෙනවා. අවශ්‍ය දත්ත මැකිලා යනවා. ඒක වෙනස් කරන්න තිබ්බ එකම විදිහ තමයි අර පුංචි කණ්නාඩි කෑල්ල. සාමාන්‍යයෙන් සුදු පාට මතුපිටකට ආලෝකය වැටුනාම ඒක පරාවර්තනය වෙන ප්‍රතිශතය වැඩියි වගේම ඒ පරාවර්තනය වෙන්නෙ මෘදු ආලෝකය (soft light) ලු. සිවිලිමත්, පැත්තෙ තිබ්බ බිත්තියත් සුදු පාට වෙච්ච නිසා ඒක හොද වාසියක් උනා වැඩේට. දැන් ඉතින් කරන්න තියන වැදගත්ම දේ. ඒ තමයි ඉතිං පින්තූරෙ ගන්න එක. කැමරාවෙ සෙටිංග්ස් මැනුවල් කරලා, එක්ස්පෝශර් එක හරියට හදලා (Shutter Speed, Aperture, ISO) ටයිමර් එක එහෙම හරියට දාලා ඉදලා පින්තූරයක් දෙකක් ගහගත්තා ඒත් අර මූණට වදින නිසා හරියන්නෑ. පස්සෙ තාත්තාට එන්න කියලා ෆ්ලෑශර් එකේ ආලෝකෙ උඩ සීලිමට එල්ල වෙන විදිහට කණ්නාඩි කෑල්ල අල්ලන්න කියලා පින්තූර දෙක තුනක් ගහගත්තා කියමුකො.


වැඩේ කියන්නෙ හොද හැටි හිටපු පින්තූරෙ බෙල්ල මොකද්ද විකාරයක් කරගෙන ඉන්නෙ. ඉතිං බෙල්ල ඇදයි, මූණයි ඇගයි කෙලින්. දැන් ඉතින් මොකෝ කරන්නෙ, ඔන්න ඔය වෙලේට තමා ඉතින් මගේ හොද මිත්‍රයා ෆොටෝශොප් සිහියට ආවෙ. ඉස්සෙල්ලාම කරේ බෙල්ල කදෙන් වෙන් කරපු එක. පස්සෙ බෙල්ල මූණෙන් වෙන් කරා. පස්සෙ බෙල්ල ඕන විදිහට හරවලා, වැඩි කෑලි කපලා, අඩු කෑලි ඔබලා එහෙම ගත්තා. ඒත් ඉතින් හරියන්නෑ වගේ. පස්සෙ ගූගල් එකේ සර්ච් කරලා ස්ටුඩියෝ එකක පසුබිමකුත් දාලා මූණෙ අදුරු වෙලා තිබ්බ තැන් ටික අර Dodge Tool එකෙන් හදලා, ඔය පේන්න තියනවා වගේ වෙන්න පින්තූර කෑලි 8ක් ම ප්‍රින්ට් කරගත්තා. කොයි වෙලේත් ඔන් වෙලා තියන කම්පියුටරේ කරන්ට් බිල ඇරුනාම වෙනදා කොහොමත් ටවුන් යන එකේ තාත්තාගෙ බයික්කෙ එල්ලිලා ගියපු පෙට්‍රල් ටික ඇරුනාම ප්‍රින්ට්අවුට් එකට ගියේ රුපියල් 20යි.



ප.ලි : මේක කියවන අය හිතන්නෙපා මේවගේ වැඩක් කරගන්න DSLR ම ඕන කියලා. Point and Shoot කැමරාවක ෆ්ලෑශර් එකට අර මෙවුවා එකක් අල්ලලා මූනෙ තැන් වලට එලිය එන විදිහට හදාගත්තා නං මේ වගේ චූටි පින්තූරයක් ලොකු ලාභයක් එක්ක ගෙදරදිම ගහගන්න පුළුවං.